(යොහාන් භාසුර)

ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අන්ත්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත්කරගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් අවධාරණය කරයි.  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ පූර්ණ සාමාජික රටවල්වල අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අදාල චොද්නා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් වෙනත් අපේක්‍ෂාවක් මුදුන් පමුනුවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු සහ එහි සාමාජිකයන් අතර සම්බන්ධතා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට පුළුල් අවබෝදයක් නොමැතිවීම පිළිබඳව ගණගාටු වන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.