(ගයාන් සූරියආරච්චි)

අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේ අවුරුදු උත්සව අතරතුර හිරුඑළියට නිරාවණයවී ජන ක්‍රීඩා කිරිමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා පවසයි.

අධික උෂ්ණත්වය නිසා දහදිය මගින් ශරීරයෙන් ජලය සහ ලවණ විශාල ලෙස බැහැරවීම නිසා ශරීරයේ ජලය අඩුවීම, මාංශපේෂීන් පෙරළීම, අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල, වමනය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතයට පවා අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව කී ජෑන්ස් මහතා කියා සිටියේ දිගු වේලාවක් හිරු එළියට නිරාවණය වී ශාරීරික ව්‍යායාම් කිරීම, හිරු එළියේ මාර්ගවල සහ වැඩබිම්වල සේවය කරන පුද්ගලයන් විශේෂයෙන් අවධානය යොමුකළ යුතු අතර පාසල් දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මවුවරුන්, හෘද රෝගීන්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ක්‍රීඩා පුහුණුවීම් කරන පුද්ගලයන්ට අධික උෂ්ණත්වයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.

අධික උෂ්ණත්වයක් පවතින කාලය වන පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා ක්‍රීඩා හා පුහුණු වැඩසටහන් හැකිතාක් මගහරින ලෙසත් උදෑසන හෝ සවස කාලය ක්‍රීඩා සදහා තෝරාගන්නා ලෙසත් පැවැසූ රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා කිවේ අධික උෂ්ණත්වය නිසා ශරීරයෙන් ජලය දහදිය ලෙස වේගයෙන් බැහැරවන බැවින් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර ජලය පානය කිරීමත්, ක්‍රියාකාරකම් අතරතුර මිනිත්තු 15 ත් 20 කට වරක් ජලය පානය කිරීම හා ක්‍රියාකාරකම්වලින් අනතුරුව ජලය පානය කිරිම වැදගත් බවය.

හිසරදය, කරකැවිල්ල, වමනය, අධික තෙහෙට්ටුව, මාංශපේෂීන් පෙරළීම, අධික දහදිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුව, දහදිය දැමීම නතරවීම, ඇවිදීමට අපහසුවීම, හිසි මද වීම සහ අවධානය අඩුවීම වැනි තත්ත්ව ඇතිවුව හොත් අවුරුදු සමයේ කරනු ලබන සියලු ක්‍රියාකාරකම් නවතා විවේකයට යා යුතු බව ජෑන්ස් මහතා කීය.