IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නොනිමි ඝාතන රැල්ල

අපරාධ යනු, සමාජ නිෂ්පාදනයකි. සමාජ අපරාධ යනු, සමාජ අර්බුදයේ ප්‍රකාශිත ආකාරයකි. එහි උච්චතම අවස්ථාවේ ඝාතන සංස්කෘතියක් බිහි වේ. එසේත් නැති නම් දැන හෝ නොදැන ඝාතන හඹා එන සමාජයක් බවට පත් වේ. සිය දිවි නසා ගැනීමේ සිට මිනිස් ඝාතන දක්වා විවිධාකාර තත්ව පවතී.

ඒවා දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙමින් ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුන පුනා වර්ධනය වෙමින් පවතින ඝාතන සංස්කෘතියක් ඇත. කප්පම්, මත්ද්‍රව්‍ය, දේපළ හිමිකම් පිළිබඳ ගැටුම් ආදි ආර්ථික කරුණු හා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි සමාජ සිද්ධි මෙන්ම දේශපාලනය මත ඇති කරගන්නා පෞද්ගලික හෝ පෞද්ගලික නොවන හේතු මත ද ඝාතන සිදු වේ.

වර්තමානයේ වර්ධනය වී තිබෙන අපරාධ රටාව පිළිබඳව අධ්‍යයනයේදී එය රටක් තුළ පැවැතිය යුතු තත්වයක් නොවේ. ඕනෑම රටක සිවිල් ජන ජීවිතය අස්ථාවර වීම සමාජයේ පැවැත්මට බාධකයකි. ලංකාවේ මෑතකාලීනව හඳුනාගත හැකි අපරාධ අතරින් පශ්චාත් කොවිඩ් සමය තුළ හොරුන්, කොල්ලකරුවන් වර්ධනය වීම තිබූ ආර්ථික ක්‍රමය යටතේ බහුලව සිදු විය. කාලයත් සමග වර්තමානය වන විට දෛනිකවම ඉතාම අනපේක්ෂිත ලෙස බරපතළම අපරාධ ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන රැල්ලක් නිර්මාණය විය. එහි පවතින හාස්‍යය වන්නේ, ලංකාවේ සෑම නාගරික ග්‍රාමීය ප්‍රදේශයකම පාසා පොලිස් ස්ථාන තිබීම, ආරක්ෂක විධිවිධාන තිබීම සහ නීතිමය පද්ධතියක් තිබියදී මහාමාර්ගයේ අමු අමුවේ මිනිසුන් ඝාතනය කිරීමයි. ඝාතන අධ්‍යයනයේදී පෙනී යන්නේ, ඒවා ඉතාමත් සරල සුමට ක්‍රියා ලෙස ඝාතකයන් විසින් සිදු කරනු ලබන ආකාරයයි. එය ඉන්දියානු දමිළ චිත්‍රපටවල චිත්‍රපට දර්ශන ද අබිබවා යන්නක් වැනිය. ස්ථානයක්, වේලාවක් සැලකිල්ලට නොගෙන නීතියට පිටුපා මෙලෙසින් අපරාධ රැල්ලක් නිර්මාණය වීම භයානක තත්වයකි.

ශ්‍රී ලංකාව යනු සිවිල් සමාජයේ අපරාධ සංස්කෘතිය පිළිබඳව අත්දැකීම් විඳි ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රටකි. ඒ සඳහා 71 කැරැල්ල, කළු ජූලිය, 88-89 භීෂණය, වසර තිහක් පුරා පැවැති සිංහල දමිළ යුද්ධය නිදසුන් සපයයි. වෙඩි හඬ මෙරටට නුහුරු නොවූ රුදුරු අත්දැකීමකි. ‍එහෙත්, මේ සියල්ල පහව ගොස් තිබියදී සිවිල් ජන ජීවිතය ස්‍ථාවරත්වයක් අපේක්ෂා කරන වර්තමානයේදී විවිධ වූ කාරණා හේතුවෙන් ඝාතන රැල්ලක් නිර්මාණය වීම අර්බුදයකි. මෙම අපරාධ ජනගත වන්නේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහාය. මාධ්‍ය හරහා මෙම ඝාතන අපරාධ නිර්වචනය කරනු ලබන්නේ දෙපිරිසක් අතර ඇති වන අභ්‍යන්තර ගැටුම් ලෙසය. ඒකාධිකාරය පවත්වාගෙන යාම සහ පැවැත්ම සඳහා මෙවැනි අපරාධ සිදු වුවත් එයට පමණක් මේ අපරාධ සංස්කෘතිය ලඝු කළ නොහැකිය.

මෙම තත්වය පාලනය කිරීම සඳහා ඉතාම ඉහළ අවධානයක් අවශ්‍ය වේ. අපරාධ රැල්ල මේ වන විට මාධ්‍ය සහ ජනයා අතර උද්‍යෝගයක් බවට පත් වී ඇත. කොහේද, කවදාද, කවුද, කවුරුන් විසින් ද ඝාතනයක් සිදු කරනු ලබන්නේ යන්න මාධ්‍ය මගින් වාර්තා කරන තුරු බලා සිටී. මිනිස් ජීවිතය මේ තරමට හාස්‍යයට සරලව ගත හැකි ද යන්න පවතින ගැටලු‍වයි. අපරාධ අවම කිරීම සඳහා කළ යුතු නීතිය ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණය සක්‍රිය විය යුතුය. නැති නම් මෙය සමාජය තුළ සරල කාරණාවක් බවට පත් වීමට විශාල අවකාශයක් පවතී.

අපරාධ නිර්මාණය වීමේ මානසික සහ සමාජයීය බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීමේදී අතීතයේදී එනම් චින්තනය තර්කනය නොදියුණු සමයේ මතය වූයේ අපරාධකරුවන් බිහි වන්නේ යක්ෂ භූත ආත්මවල බලපෑම් මගින් සිදු වන්නක් බවය. එහෙත්, ලෝක ඉතිහාසය දියුණුවත් සමග විවිධ වූ පර්‌යේෂණ මත තර්ක තුනක් ගොඩනගන ලදී. එනම්, අපරාධකරුවන් බිහි වන්නේ ආරය, ජානමය හේතු මත, සමාජානුයෝජනයේ ප්‍රතිඵලයක් මත සහ දරිද්‍රතාව, කල්ලි ගැසීම්, උපසංස්කෘතියට අනුගත වීම වැනි පාරිසරික හේතු මත යන්න වේ. මෙම තර්ක අතරින් ආරය සහ ජාන අපරාධ අතර දැඩි සම්බන්ධයක් පවතින බව පරීක්ෂණ මගින් සොයා ගෙන තිබේ. එහෙත්, අපරාධ යනු, උප්පත්තියේ බලපෑමට වඩා සමාජ බලපෑම මත ඇති වූවකි.

අපරාධ විද්‍යාඥයෝ අපරාධ සම්බන්ධව සිදු කර තිබෙන පර්‌යේෂණ අනුව සමාජ ව්‍යුහයක් තුළ අපරාධකරුවන් බිහි වන්නේ කෙසේ දැයි යන්නට තර්ක ගොඩනගා ති‍බේ. අපරාධ වර්ධනය වීමට නානාවිධ වූ හේතු බලපෑම් කරයි. ඒ අතරින් ආර්ථික සාධකය ඉතා ප්‍රබල බලපෑම් කාරකයකි. මෙය දරිද්‍රතාව අබිබවා ගිය ආර්ථික බලපෑමකි. රට තුළ නීති විරෝධි ක්‍රියාකාරකම් මගින් යම් කණ්ඩායම් ඒකාධිකාරයක් ගොඩනගා ගෙන ඇත. එක් ඒකාධිකාරයක් තවත් ඒකාධිකාරයක් විසින් බිඳ දමන්නට ඉඩ නොදීම තුළ මෙම අපරාධ වර්ධනය වේ.

පාතාලය යනු, එක් රැයකින් වර්ධනය වූවක් නොවේ. රැකියා වියුක්තියෙන් පෙළෙන අඩු ආදායම් ලබන තාරුණ්‍යය ඔවුන්ගේ ජීවන මග සරි කරගැනීම උදෙසා විවිධ වූ විකල්ප තෝරා ගනී. යමකුට නීත්‍යනුකූල වූ විකල්පයක් සඳහා ප්‍රවිෂ්ට වීමට නොහැකි වූ කල ඔවුහු නීති විරෝධි මාර්ග තෝරා ගනිති. පසුව එය ඇබ්බැහියක් බවට පත් වේ. එම ඇබ්බැහිය පුරුද්දක් වූ පසු එයින් මිදීමට නොහැකි වේ. එබැවින් ආර්ථික සාධකය අපරාධ නිර්මාණය වීමට බලපාන මූලික හේතුවකි. එමෙන්ම, මෙම නීති විරෝධි මත්ද්‍රව්‍ය වෙළෙඳාම, කුලියට මනුෂ්‍ය ඝාතන ආදියෙන් ඉතා කෙටි කාලයක් තුළ වැඩි මුදලක් උපයාගත හැකි වීමත් මෙයට යොමු වීමට බලපාන තවත් හේතුවකි. අපරාධ වෙත යොමු වූ බොහෝ පුද්ගලයෝ නිසි අධ්‍යාපනයෙන් බැහැරවූවෝය. නැතහොත් දරිද්‍රතාව, සමාජ විෂමතාව, නිසි සමාජානුයෝජනයක් නොලැබීම වැනි හේතු මත ද අපරාධ වෙත යොමු වීමට රැකුලක් ලබා දෙයි.

මාධ්‍යය යනු, මෙරට සිවු වැනි ආණ්ඩුවයි. අපරාධකරුවන් වර්ධනය සඳහා ඇතැම් මාධ්‍ය මගින් ද යම් පිටිවහලක් ලබා දෙයි. මාධ්‍ය භාවිත කරන සියලු‍ම පරිශීලකයෝ මාධ්‍ය සාක්ෂරතාවෙන් යුතු වූවෝ නොවෙති. විවිධ වූ අධ්‍යාපන මට්ටම් සහිත සියලු‍ දෙනා මාධ්‍ය භාවිත කරති. මාධ්‍ය මගින් පාතාලය නිරූපණය කරනු ලබන්නේ නම්, යම් ක්‍රියා මහත් චමත්කාරජනකව රූපරාමු සහිතව ඉදිරිපත් කරනු ලබයි. ඒ හරහා ඔවුන් තුළ වීරත්වයක් ගොඩනැගීමට සමත් වෙයි. කුඩා දරුවන්ගේ පරමාදර්ශී චරිත ලෙස තම ජීවිතයට ආරෝපිත කරගැනීමට පවා උත්තේජනයක් සපයයි. එමෙන්ම, ඇතැම් මාධ්‍ය උත්සාහ කරන්නේ කුණු රස අවුස්සා නාලිකාවල වාණිජ වටිනාකම ඉහළ නංවා ගැනීම සඳහාය. සැබෑවටම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මාධ්‍ය සදාචාරයට අනුගතව කටයුතු කරනවා ද යන්න ගැටලු‍ පවතී. මාධ්‍ය සදාචාරය මෙරට ක්‍රියා කරවීමට පියවර ගැනීම වඩා වැදගත් වේ. මාධ්‍ය මගින් සිදු කළ යුත්තේ වින්දිතයන්ගේ රහස්‍යභාව ආරක්ෂා කරමින් යුක්තිය ඉටු කිරීමට දායක වීමය. සමාජය තුළ අපරාධ නියාමනයට අවශ්‍ය මග පෙන්වීමය. අපරාධ කල්ලි ගැසීම් නවතාලීමට, රිය අනතුරු අවම කරගැනීමට එනම් නීතිය පිළිබඳව දඬුවම් පිළිබඳව ජනගත කිරීමයි. සිවිල් සමාජයෙන් විය යුතු වගකීම, නීතියෙන් ඉටු විය යුතු යුක්තිය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මාධ්‍යයෙන් කළ යුත්තේ අපරාධ යාන්ත්‍රණය සම්බන්ධයෙන් විද්වතුන් කරන පර්‌යේෂණ සහ අධ්‍යයන, දෙස් විදෙස් දැනුම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමයි.

ලංකාවේ පසුගිය සමයේ මෙන්ම මේ දිනවලදී ද රිය අනතුරු බහුල ලෙස සිදුවන අතරම, ඒ මගින් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළය. රිය අනතුරු යනු ද අපරාධයකි. මෙම රිය අනතුරු අවම කිරීමට ද හැකියාව පවතී. එනම්, විදෙස් රටවල මෙන්ම තාක්ෂණය යොදා ගැනීම රිය අනතුරු අවම කිරීමට ප්‍රයෝජනවත් වේ. තාක්ෂණික හැකියාව පුළුල් කළ යුතුය. එමෙන්ම, කප්පමට යට නොවී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදු විය යුතුය.

මෙරට අපරාධ වර්ධනයට බලපානු ලබන තවත් හේතුවක් වනුයේ, මෙරට අපරාධ විමර්ශනය සඳහා විශාල කාලයක් ගත වීමයි. විමර්ශන කටයුතු කල් යාමත් සමග අපරාධකරුවන් නීතියේ රැහැනෙන් පලා යාමට අවකාශයක් සපයනු ලබයි. මාධ්‍ය මගින් ද කළ යුත්තේ නාට්‍ය ජවනිකා නිර්මාණය කිරීම නොව මෙරට නීතියේ ශක්තිමත් බව මහජනයා වෙත ඒත්තු ගැන්වීමයී. එසේ නොවීම පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් වැනිය. සෝදාපාළුවට ලක් වී තිබෙන නෛතික යාන්ත්‍රණය තුළ තවත් අපරාධ සංස්කෘතිය ශක්තිමත් වීමට ඉඩ හසර ලබා දෙනු ඇත.

ජීවන වියදම් ඉහළ යෑමේදී, විරැකියාව ඉහළ යෑමේදී, අධ්‍යාපනය ඉහළ යන තරගකාරිත්වය හමුවේ වෙහෙසකර වීමේදී රට තුළ අපරාධ නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. සමාජ ව්‍යුහය තුළ සමාන අයිතිවාසිකම් සියල්ලටම සමව හිමි වී නොමැත. රටක බහුතරය වෙත වරප්‍රසාද අහිමි වීමේදී විවිධාකාර අපරාධ වෙත යොමු වීමට මාර්ග විවර වේ. ඒබ්‍රහම් මාස්ලෝ ඉදිරිපත් කළ ආත්ම සාක්ෂාත්කරණ න්‍යායට අනුව අවශ්‍යතා යනු පිරමීඩයකි. එම පිරමීඩය තුළ වැඩි අවකාශය වෙන් වී තිබෙන්නේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්, නිවාස වෙතය. එහෙත්, මෙරට එම මූලික අවශ්‍යතා ඉටු කරගත නොහැකි පිරිස බහුලය. එය අපරාධ කෙරෙහි බලපාන මූලික සාධකයකි.

ළමා ලිංගික අපයෝජන, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි පෞද්ගලික සබඳතාවල පටන් මනුෂ්‍ය ඝාතන දක්වාම අපරාධ වර්ධනය වීම භයානක තත්වයකි. අපරාධකරුවන් නිර්මාණය වීමට පවුල් සංස්ථාවේ සිටම බලපෑම් ඇති කරයි. අපරාධ පාලනය කළ හැකිය. පාලනය කිරීම ද සියයට සියයක් කළ නොහැකි නමුත් යම් මට්ටමකින් අවම කළ හැකිය. සමාජය නියෝජනය කරනු ලබන නෛතික ක්‍රියාපටිපාටියට ඉතා ප්‍රබල වගකීමක් අපරාධ පාලනය වෙනුවෙන් පවතී.

අපරාධ සහ සමාජය සැලකූ විට සමාජය වේගයෙන් වෙනස් වේ. සමාජය තුළ අපරාධත් වේගයෙන් විවිධාංගීකරණයට ලක් වේ. අපරාධ විවිධාංගීකරණයට ලක්වන විට රටක අපරාධ යුක්ති ක්‍රියාපටිපාටිය වේගවත්ව කාර්යක්ෂමව විශ්වසනීය බවකින් යුතුව නීතිය මත පාලනය නොකළහොත් රට තුළ අපරාධ වැළැක්විය නොහැකිය.

(*** සාකච්ඡා සටහන - ශෂිකා අබේරත්න)



අදහස් (0)

නොනිමි ඝාතන රැල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site