වරින් වර රජයට එරෙහිව එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ඊට දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් රටේ බොහෝ පිරිසක් සෑහීමකට පත්ව නැති බව පෙනේ.

මේ දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී ඇත්තේත්, ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේත් රටට ගල් අඟු‍රු ආනයනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී විශාල වංචාවක් සිදුව ඇති බවට නැගෙන චෝදනාව පිළිබඳවය. එවැනි වංචාවක් සිදුව නැති බවත්, ගල් අඟු‍රු ආනයනය සම්බන්ධයෙන් නිසි පිළිවෙත් අනුගමනය කර ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරවලින් ප්‍රකාශ වේ. එසේ වුව ද ඇතිව තිබෙන සැකය සහ අවිශ්වාසය පිළිබඳව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් එම ප්‍රතිචාරවල ගැබ්ව ඇති බවක් දක්නට නොලැබේ.

ඊට හොඳම උදාහරණයක් වන්නේ ගල් අඟු‍රු ප්‍රශ්නය පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයයි. “ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ප්ලාන්ට් එකේ පෆෝමන්ස් අඩුවෙලා තියෙනවා.” යැයි ප්‍රකාශ කළ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති දත්ත වැරැදියට සකස් කර ඇත්ද යන්න ආදිය පිළිබඳවත් සොයා බලන බව සඳහන් කළේය. වැරැද්දක් තිබුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්, එසේ නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණය බාර දෙන බවත් ප්‍රකාශ කළ ඔහු වැරැදි කර ඇති අය ඇතොත් අනිවාර්යයෙන්ම දඬුවම් පමුණුවන බව ද ප්‍රකාශ කළේය. එයින් පැහැදිලි වන්නේ රජයේ සමහර නායකයන් සහ ප්‍රකාශකයන් ඒ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුව ද, රජය විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණු පවතින බවයි.

මෙම රජය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා “ගල් අඟු‍රු වංචාව, බැඳුම්කර වංචාව හා සමානයි. ආණ්ඩුවේ ප්‍රචාරවලට ජනතාව අන්දන්න බෑ. හොරකම් කළේ නැත්නම් ඔප්පු කරනු” යන අදහස දැක්වෙන ප්‍රකාශයක් යූටියුබ් හරහා මාධ්‍යවලට මුදාහැර ඇත. මෙවැනි පොදු කරුණුවලදී දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව කරුණු විමසීම වැදගත් බවත්, මෙම ගල් අඟු‍රු ගනුදෙනුව පිළිබඳව අවසාන විනිශ්චය ලබාදීම ජනතාව සතුවන අතර ඒ සඳහා විශ්වසනීය දත්ත සැපයීම බලධාරින්ගේ වගකීමක් වන බවත් මහාචාර්යවරයාගේ එම සඳහනින් ප්‍රකාශ වේ.

ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම එළි දැක්වෙන මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ගල් අඟු‍රු සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදි පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මතුව ඇති ආකාරයයි. ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී කරන ප්‍රකාශවලින් හෝ ආණ්ඩුවේ පිරිසුදු කිරීමේ යන්ත්‍රණය පසුගිය දිනවල දරා ඇති අතිමහත් උත්සාහයෙන් හෝ ජනතාව තුළ ඇති සැකය යටපත් කිරීමට නොහැකි වී ඇත.

ආණ්ඩුවට එරෙහිව ගල් අඟු‍රු සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බවට නැගෙන චෝදනා කරුණු කිහිපයක් මත පදනම්ව ඉදිරිපත් කර ඇති බව පෙනේ. එක චෝදනාවක් වන්නේ ටෙන්ඩර් අයැදුම්කරුවන් සම්බන්ධයෙන් වන සුදුසුකම් ලිහිල් කර තමන්ට අවශ්‍ය අයකු තෝරා ගැනීම සඳහා ඉඩකඩ සලසා ඇති බවයි. ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම සඳහා දින හතළිස් දෙකක කාලයක් ලබාදිය යුතු වුව ද එය දින විසිඑකක් දක්වා අඩුකර තිබේ. මීට පෙර ගල් අඟු‍රු මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ආනයනය කර පළපුරුද්දක් ආනයනකරුට තිබිය යුතු වුව ද මෙවර එය මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා අඩුකර තිබේ. සුදුසුකම් ලිහිල් කිරීම පිළිබඳව පිළිගත හැකි ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීමට රජයට නොහැකි වී ඇත. අයැදුම්පත් ඉදිරිපත් කිරීම දින විසිඑකකට සීමා කළ ද ටෙන්ඩර් ප්‍රදානය කර ඇත්තේ මාස කීපයකට පසුය. ඉන් පැහැදිලි වන්නේ දින විසිඑකක කාලසීමාව නියම කර ඇත්තේ තරගකරුවන් අඩු කිරීම හෝ ඒ වනවිට ද සූදානම්ව සිටි තරගකරුවකුට වාසි සලසා දීමට විය හැකි බවය.

පසුගියදා ගල් අඟු‍රු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරුණු මගින් ද නිසි පිළිවෙතට ටෙන්ඩර් ප්‍රදානය කර නැති බව හෙළිවේ. සභාපතිවරයා තම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ ගල් අඟු‍රු ටෙන්ඩර් ක්‍රියාවලියට තමා හෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිදු සම්බන්ධයක් නොමැති බවය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් එම කටයුතු මෙහෙය වූ බව ද ඔහු ප්‍රකාශ කර ඇත. ගල් අඟු‍රු සම්බන්ධ වගකීම් පැවරී ඇති ආයතනයක ප්‍රධානියකු මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කරද්දී ආණ්ඩුව ගල් අඟු‍රු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී නිසි පරිදි ක්‍රියාකර ඇත්ද යන්න පිළිබඳව ප්‍රබල සැකයක් මතුවන බව පෙනී යයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පැහැදිලි වන්නේ නව සැපයුම්කරු ලබාදී ඇති ගල් අඟු‍රු තත්වයෙන් පහළ මට්ටමක පවත්නා බවයි. ඒ හේතුවෙන් දැරීමට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 7000ක් පමණ වන බව ද එහි සඳහන් වේ. ඒ අතරම එම ගල් අඟු‍රුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ දී යන්ත්‍ර සූත්‍රවලට සහ උපකරණවලට සිදුවන හානිය වෙනුවෙන් සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවන බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. එසේ පාඩුවීමට හේතුවී ඇත්තේ ටෙන්ඩර්කරු සැපයීමට නියමිතව ඇති ප්‍රමිතියට වඩා පහළ මට්ටමක ගල් අඟු‍රු සැපයීමයි.

ආණ්ඩුව එයට දක්වන ප්‍රතිචාරය වන්නේ එසේ ගිවිසගත් විදුලි නිෂ්පාදනය එම ගල් අඟුරුවලින් ලබාගත නොහැකි වූ විට සැපයුම්කරුගෙන් දඩයක් අයකර ගැනීමට හැකිවන බවයි. එසේ වුව ද මෙම සංඛ්‍යා දත්ත මගින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ අයකර ගන්නා දඩ මුදල, දැරීමට සිදුවන පාඩුව පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. අනෙක් අතට යන්ත්‍ර සූත්‍ර සහ උපකරණවලට සිදුවන හානිය රටේ සමස්ත විදුලිබල සැපයුම කෙරෙහි අහිතකර අන්දමින් බලපෑමට ඉඩ තිබෙන බව ද පෙනී යයි.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව පිහිටුවා ඇත්තේ රජයට අයත් පොදු ව්‍යාපාර පිළිබඳව කටයුතු පරික්ෂා කර බැලීම සඳහාය. මීට පෙර මෙවැනි ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවල බොහෝ විට සිදුවන්නේ එවැනි ආයතන කෝප් කමිටුව හමුවට ගෙන්වා එවැනි සිදුවීම් පිළිබඳව වගකිව යුතු නිලධාරීන්ගෙන් තොරතුරු විමසීමය. එසේ වුව ද එම කාර්ය ඉටු කළ යුතු කෝප් කමිටුවේ නායකත්වය දරන එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මේ දිනවල රජයට එල්ල වන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනාවලට පිළිතුරු දීමට ඉදිරිපත් වන රජයේ පාර්ශ්වයේ ප්‍රධාන රැකවලකු බවට පත්ව ඇති බව පෙනේ. එහි අර්ථය වන්නේ වඩාත් අපක්ෂපාතී වගකීමක් දැරිය යුතු කෝප් කමිටු සභාපතිවරයා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට යෙදවීමට තරම් තත්වයකට රජය පත්වී ඇති බවකි. කෝප් කමිටුවට නිලධාරීන් පැමිණෙන්නේ එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් කෙරෙහි ගරුත්වයකින් යුතුවය. එසේම වඩාත් සංයමයකින් යුතුව ප්‍රතිවිරෝධතාවලින් තොරව අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට රාජ්‍ය ආයතනවල නිලධාරීන් කටයුතු කරන ආකාරය දැකගත හැකි විය. එසේ වුව ද ආණ්ඩුව කෝප් කමිටු සභාපතිවරයා තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීම සඳහා යොදා ගැනීම තුළ මේ දක්වා සභාපතිවරයා හිමිකරගෙන තිබූ ගෞරවය සහ කීර්තිය හීනවී යන ආකාරය දැකගත හැකි විය. ඔහු විත්තිකරුවන් ආරක්ෂා කරන්නකුගේ තත්වයකට පත්වී ඇති බවක් පෙනී යයි.

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වේදිකාවල දී විදුලිබිල තුනෙන් එකකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයෝ ප්‍රකාශ කළහ. එසේ වුව ද මෙම ගල් අඟු‍රු අර්බුදය ඇතිවීමට පෙර විදුලි උත්පාදන පිරිවැය පියවා ගැනීම සඳහා යැයි ප්‍රකාශ කරමින් සියයට දහතුනකින් විදුලිබිල ඉහළ දැමීමට සූදානම් විය. තත්වයෙන් බාල ගල් අඟු‍රු ගෙන්වීම හේතුවෙන් දැනට ගෙන්වා ඇති නැව් කිහිපයෙන් පමණක් රුපියල් කෝටි හත්සියයකට වැඩි පාඩුවක් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවී ඇත. ටෙන්ඩරය දී ඇති ගල් අඟු‍රු සැපයුම්කරු දිගටම ඒවා සපයන්නේ නම් මෙම පාඩුව විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබේ. එවැනි තත්වයක් තුළ සියයට දහතුනකින් විදුලිබිල ඉහළ දැමීම වෙනුවට සියයට පනහකින් පමණ විදුලිබිල ඉහළ දැමීමට සිදුවන තත්වයක් වුව ද ඇතිවිය හැකිය. රජය වහාම ක්‍රියාත්මක නොවන්නේ නම් රටේ මහා විදුලි අර්බුදයක් ඇතිවීමට වුව ද ඉඩ තිබේ.

කිසිදු පරීක්ෂාවකින් තොරව ප්‍රශ්නගත කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව රජයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තවමත් සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වීමට රජයට නොහැකි වී ඇත. ගල් අඟු‍රු ගෙන්වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව ද ඒ ආකාරයේම ප්‍රබල එකකි. රජය පොරොන්දු වී ඇති පරිදි දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එල්ල වී ඇති එවැනි චෝදනා පිළිබඳව මහජනතාවට පිළිගත හැකි ආකාරයේ විධිමත් ක්‍රියා පිළිවෙතක් ඔස්සේ ඒවා විභාග කර වගකිව යුතු හෝ දූෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන් සිටිත් නම් ඔවුනට නිසි දඬුවම් පැමිණවීමට ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

(***)