IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සන්මිතු ගම්ලතු

මතක හා මතය

සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්‍රදානය අරභයා භුවංගත වූයේ ක්‍රෛස්තවාබ්‍ද 1934 මැදින් මාසයේ 10 වනදාය. එතුමන් තම  ජාත භූමි ජනතාවගේ ඥාන නයනෝන්මීලනය උදෙසා දැරූ උත්කෘෂ්ට  පරිශ්‍රම නිමවා 79 වන වියේදී දිවංගත වූයේ ක්‍රෛස්තවාබ්ද  2013 මැදින් මාසයේම 30 වන ශනිදාය. ඒ මීට පුරා 12 වසරකට පෙරය. 

මෙවේලේ මගේ  ස්මෘති පත්ලෙන් එක්තරා අතීත සිද්ධියක් ඉබේම උද්ගතව ඒම කෙසේ වළකම්ද? 
මුනිදාස කුමාරතුංග පඬිතුමා එලෝ බලා ගොස් හරියටම මසකුත් දින 06 ක් ගෙවුණු 1944 අප්‍රේල් 08 වැනිදා 
'සිංහල බෞද්ධයා' පුවත්පතෙහි    පී.මලල්ගොඩ කවියා විසින් පළ කරන ලද 'වීරයකුගේ සොහොන ළඟ' යන මැයෙන් යුත් පැදි පෙළින් උපුටා ගත් පැදියක් යැ මේ.

 

මුවින් ගිලිහුණු එකමැ පදයකැ රසය ගැටලුව සොයා          යළි යළි 

සොවින් සන්තාපයෙන් මිරිකී හෙළමි මම උණු කඳුළු         ගුළි ගුළි 

ඔබෙන් හිස් වුණු නිසා සත් රඟ මඬල මින් පසු නැති වැ      විළි පිළි

ඉතින් කාටත් බැලියැ හැකි වෙයි මහ දවල් බක මුහුණු       නළු කෙළි

මුනිදාස කුමාරතුංගයන් වැනි භාෂා ප්‍රාඥයෙකුගේ අභාවයෙන් පසු එතෙක් අඳුරේ සැඟවී හුන් භාෂා අඥයන් කාඩ්බෝඩ් පණ්ඩිතයන්ගේ වෙසින් කලඑළියට එනු ඇතැයි යන අනාවැකිය මලල්ගොඩ කිවිඳුන් එදා උපහාස මුඛයෙන් පැවසුවේ එසේය. එදා කෙසේ වෙතත් ඒ අනාවැකිය මෙකල මෙලක නම්  ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බවට පත්ව ඇතැයි පැවසීම කවර වරදද? 

 මා සන්මිතු සුචරිත ගම්ලතු අරබයා පහත දැක්වෙන දෙපැදිය මගේ අතින් බැඳුණේ එය සිහිවීමෙනි.

කතු හට  'ටෙන් පසන්ට්' පිළිවෙත රැකගත්තූ
පොත් පළ කරන අපෙ සිංහල
සිරිමත්තූ 
දන සම්මාන දී කතු හට
දුප්පත්තූ
සාහිතෙ නඟනු දක්නට නැත
ගම්ලත්තූ

වැකි නොලියැකිවුන්ද ලැබ දන  සම්මාන 
සිකි මෙන් රඟන කල වස මග පෙන්නාන 
දකිනෙම් පාළු බව සාහිත රජදාන 
සකි නැති හෙයිනි උන්ගේ ඒ අබිමාන


මගේ සන්මිත්‍ර සුචරිත ගම්ලතුන්ගේ ප්‍රශස්ත සංස්කෘත පාණ්ඩිත්‍යයට ප්‍රණාම පිණිස මවිසින් සකු බසින් විරචිත මේ ශ්ලෝක චතුෂ්කයට මෙසේ සරල සිංහල භාවාර්ථයන්ද ලියූවේ සකු බස නොදත් රසිකයන්ගේ සුඛාවබෝධය පතාය.

මුග්ධ පණ්ඩිතමානි ජන ගජ කුම්භ නාශන කේශර
ශාස්ත්‍ර සේවිත විබුධ ජන ගණ ශීර්ෂ ශෝභන ශේබර
පාලි සංස්කෘත සිංහලාංගල ඥාන මාණික්‍ය ආකර 
අචල මානව භක්ති පූරිත සාහිත්‍ය 
රස සාගර

(මෝඩ අහංකාර පණ්ඩිතයන් නමැති  ඇතුන්ගේ කුඹු තල පළන කේශර සිංහයෙකි. ශාස්ත්‍ර උගත් නැණවත් දනන්ගේ හිස සරසන මුදුන් මල්කඩකි. හෙළ පෙළ සකු ඉංගිරිසි යන බස් දැනුම් සයුරකි. නොසැලෙන මිනිස් බැතියෙන් සපිරි සාහිත රස සයුරකි.)

ශාස්ත්‍ර සාගර සමාන ප්‍රාඥ ජන  
ගණ ආශ්‍රිත
ඥාන ප්‍රදීපායමාන ග්‍රන්ථ රත්න
පරිශීලිත 
ස්වාධීන විද්වජ්ජන චරිතාංග 
උපශෝභිත 
කෘතවේදී ශිෂ්‍ය භෘංග ගුරු ගුණ 
ගායන ගායිත

(සතර  සයුරු වැනි නැණැති දනන්ම ඇසුරු කළ අයෙකි. නැණ පහන් වැනි ගත් රුවන්ම හැදෑරූවෙකි. නිවහල් විද්වත් චරිත ගතියෙන් හොබින්නෙකි.  කෙළෙහි ගුණ දත් සිසු බිඟුන් ගුරු  ගී ගයා පුදන්නෙකි.)

   
අවිචාර ප්‍රචාරක විචාරක ගණ
දුෂ්ට 
බහුශ්‍රුත වේශ ධර අපණ්ඩිත ජන
කෂ්ට 
රස භාව හීන ජන මාතෘ භාෂා 
භ්‍රෂ්ට 
ප්‍රමර්දිත නිර්භීත විද්වාන්
උත්කෘෂ්ට

(දුෂ්ට අවිචාර විචාරක ප්‍රචාරකයන්ද, ඇසූපිරූ වෙසින් පෙනී සිටින බොරු පණ්ඩිතයන්ද, මව්බස කෙලසන රස හීනයන්ද, නොබියව මැඩලූ  උතුම් පැණවතෙකි.)

කර්ණ රසායන විචිත්‍ර ආකර්ෂණ
භාෂණ 
හෘදය ආස්වාද ජනක රස පූර්ණ 
ලේඛන 
මිථ්‍යා මත දූරි භූත ප්‍රති
වාදාරෝපණ
සුචරිත පණ්ඩිත මූර්ති ලංකෘත මණි භූෂණ

(කන් පිනන සිත් අදන විසිතුරු බසින් කියන, හද පොබයන රස පිරි බසින් ලියන, විරුද්ධ වාද නගමින් බොරු මත දුරලන, සුචරිත පඬිඳු මනරම් මිණි අබරණකි.)



අදහස් (0)

සන්මිතු ගම්ලතු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site