IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


මහලු බවේ මහිමය!

මතක හා මතය

මා මේ ඔබට ඉදිරිපත් කරන්නේ සිංහල පන්සිය පනස් ජාතක පොතේ එන කෙටි ජාතක කතාවකි. එය එහි හැඳින්වෙන්නේ 'අත්ථද්වාර ජාතකය' යන නමිනි. අර්ථයක් හෙවත් යහපතක් , වැඩක් සලසා දෙන දොරටුව යන තේරුම ඊට දිය හැකිය. මා ඔබට කියන්නට තෝරා ගත්තේ ඒ ජාතකයේ ඉකුත් වත හෙවත් අතීත කතාවය.

ජාති දුක හෙවත් ඉපදීමේ දුක , ජරා දුක හෙවත් මහලු වීමේ දුක , ව්‍යාධි දුක හෙවත් ලෙඩ වීමේ දුක හා මරණ දුක යනුවෙන් දුක සතර වැදෑරුම්ය. සකල ලෝක සත්ත්වයෝම ව්‍යාධි හෙවත් රෝග දුකට ගොදුරු වන ස්වභාව ඇත්තෝය. ව්‍යාධි දුක වනාහි සකල ලෝක සත්ත්වයා වෙත නියත ලෙස මරණ දුකද කැටුව පැමිණෙන ඝෝර ව්‍යාධි මහෝඝයක්ද විය හැකිය. මුළු ලෝකයම වෙළා ගත් කොරෝනා විපතද එවැන්නකි. එවැනි විපත්ති සමයක හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කළ යුත්තේ කුමක්ද? ඓශ්වර්ය මදය , යෞවන මදය , ආරෝග්‍ය මදය හා ජීවිත මදය යන සතර මද අතරින් ආරෝග්‍ය මදයටම මුල් තැන දී කටයුතු කිරීම මිස අනිකක් නොවෙයි. ආරෝග්‍ය මදයෙහි ඔද තෙද සිඳී ගිය කල අන් තුන් මදයද ඉඳුරාම වඳ ළඳුන් බඳු වෙයි.

ආරෝග්‍ය පරමා ලාභා

සන්තුට්ඨි පරමං ධනං

විස්සාස පරමා ඤාති

නිබ්බාණ පරමං සුඛං

(ධම්මපද , සුඛ වග්ග , 08 )


පෙළ බස හෙළ බසට නගමු.


උතුම්ම ලාබෙත් නිරෝගිකමමය

උතුම්ම දනයත් සන්තෝසයමය උතුම්ම නෑයත් විස්වාසයමය

උතුම්ම සුවයත් නිර්වාණයමය


සකල විධ මනුෂ්‍ය විනාශයන්ට හේතු භූත වන විවිධ විෂම මනෝව්‍යාධීන් නිවාරණය කරන ඥානෝපදේශ සංහිතාවක් වන් ජාතක කතා පොත නැණ පොතක් මිස බණ පොතක් නොවෙයි. සිංහල සංස්කෘතියෙහිලා 'වහන්සේ' යන සැදැහැබර පදයෙන් වෙසෙසා දැක්වෙනුයේ බුදුන් හා සඟුන් පමණි. එහෙත් ඒ සංස්කෘතිය විසින් වෙසෙස් පොත් දෙකක් 'වහන්සේ' යන උතුම් පදයෙන් වෙසෙසනු ලැබේ. ඒ වූකලී 'ජාතක පොත් වහන්සේ' සහ 'පිරුවානා පොත් වහන්සේ' යන දෙකය. ඒ මන්ද? සිංහලයාට නොමිනිසුන් මිනිසුන් කරන ගුණ දහම් හඳුන්වා දුන් උතුම් මිනිස් කතා පොත ජාතක කතා පොතය. විපතට පත් කල සිංහලයාට ආරක්ෂාව සැලසුවේ පිරිත් පොතය. ඉතින් ඒවා ජාතක පොත් වහන්සේ පිරුවානා පොත් වහන්සේ වීම කවර අරුමයක්ද? එනයින් රේඩියෝ වහන්සේ ටැලිවිෂන් වහන්සේ පත්තර වහන්සේ කියාත් කියැවේද?

'අත්ථද්වාර ජාතක' කතාවේ ඉකුත් වතෙහි සාරය මෙසේය.

යට ගිය දවස පින්වත් සිටුවරයෙක් සිටියේය. ඔහු මහා සම්පත් ඇත්තෙකි. ඔහුගේ සත් හැවිරිදි පුතා මහා නුවණැත්තෙකි. දවසක් ඔහු පියා ළඟට ගොස් මේ ප්‍රශ්නය ඇසුවේය.

"පියාණෙනි , වැඩ අවැඩ සිද්ධ වෙන්නෙ කවර කාරණයකින්ද?"

එවිට පියා වැඩ අවැඩ දෙකට මුල්වන කාරණා හයක් පුතාට පහදා දුන්නේය.

මෙන්න ඒ කාරණා හය:


1. නීරෝග බව.

2. ආචාරශීලී බව.

3. ඥානවෘද්ධ , තපෝවෘද්ධ , වයෝවෘද්ධ ගුරුන්ගෙන් අවවාද ඇසීම

4. බහුශ්‍රැත බව.

5. දුරාචාරයෙන් වැළකීම.

6. සිතේ පසුනොබැසීම.


අති බිහිසුණු මාරාන්තික කොරෝනා වසංගතය විසින් ආරෝග්‍ය සම්පත්තිය හෙවත් නීරෝගව සිටීම මනුෂ්‍ය ජීවිතයේ පරම ලාභය බව සකල ලෝකවාසී ජනයාට ඒකාන්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ කර දෙන ලදැයි සිතමි. මනුෂ්‍ය සත්වයා මේ ලෝකයේ පහළ වූ දා සිටම ව්‍යාධි භය සහ මරණ භය යන දෙදෙන එකට අතිනත ගෙන පැමිණෙන පරම ශත්‍රූහූ වෙති. ධන කාමය , බල කාමය , යශස් කාමය නමැති ත්‍රිවිධ කාමයෙන් ගර්විතව දර්පිතව වැජඹෙන කවර ජගදීශ්වරයෙකු වුවද ව්‍යාධි භය සහ මරණ භය අභිමුඛයේ අභය පතන්නේ අන්ත අසරණයෙකු සේය. කොරෝනා ව්‍යසනය විනා එකී කාරණය මනාව සනාථ කරන අන්‍ය ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් ලොවේ තවත් විය හැකිද?

'අත්ථද්වාර' ජාතකයෙහි ඇතුළත් වැඩ අවැඩ සලසන ෂඩ්විධ කාරණා අතරෙහි මුලින් ඉස්මතුව දැක්වෙන 'නීරෝග බව' හැරෙන විට වෙසෙසින් අවධාරණය කරන තවත් කාරණයකි ඥානවෘද්ධ , තපෝවෘද්ධ , වයෝවෘද්ධ ගුරුන්ගෙන් අවවාද ඇසීම. ජීවිත පරිඥානය හා බුද්ධි පරිපාකය නිසා සිදුවන ලෝකාර්ථ සිද්ධිය මහාර්ඝය. ගැඹුරු ජීවිතාවබෝධය හා පරිණත බුද්ධිය වයෝවෘද්ධත්වයේ ප්‍රායෝගික උරුමයකි. එබැවින් වයෝවෘද්ධ ප්‍රාඥයෝ ලෝකාර්ථ සිද්ධිය සලසන ශාස්තෘවරු සදෘශයහ. ඔවුන්ගේ අවවාද අනුශාසනා ලෝකාරක්ෂක මන්ත්‍ර හා සමාන වන හෙයිනි.

භික්ෂු සංඝයාගේ මෙන්ම බෞද්ධ සැදැහැවතුන්ගේද තුඩ තුඩ නිතර රැව් දෙන , සනාතන අගයක් ඇති සාරධර්මයක් ගැබ් වුණු වෙසෙස් ගාථා රත්නයක් බෞද්ධ වන්දනා ගාථාවලියේ ඇත. එය මෙසේය.


අභිවාදන සීලිස්ස

නිච්චං වුද්ධාපචායිනෝ

චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති

ආයු වණ්ණෝ සුඛං බලං


"වැඳීමට හිතැතිව , නිතර වැඩිහිටියන්ට වඳින තැනැත්තාට ආයුෂ , වර්ණය , සැපය , බලය යන පල සතර ලැබේ"


පෙළ බසින් වන එම ගය හෙළ පැදියට නගමු.


බැති ඇතිව සිත තුළ

වැඩිහිටියන් පිදූ කල

ආයු පැහැ සැප බල

වැඩේ නිසැකව ලෙසින් පින් පල


මෙහි ප්‍රකාශිත වුද්ධ අපචායනය හෙවත් වැඩිහිටියන් පිදීම යන්නෙන්

ප්‍රතීයමාන වනුයේ එවැන්නන්ගේ සත් සමාගමයෙන් සදාශ්‍රයෙන් ලබන ආවේශය , ආභාසය හා ආලෝකය යන පරම ලාභයන්ට සම්භාවනා කිරීම මිස අනිකක් නොවේ. එසේම මෙහිදී 'වැඩිහිටි' නාමයෙන් ගැනෙනුයේ ජීවිත පරිඥානයෙන් සහ බුද්ධි පරිපාකයෙන් වෘද්ධත්වයට පත් නැතහොත් වැඩී සිටි පිරිසමය. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ගේ සත් සමාගමය , සදාශ්‍රය කරණකොටගෙන ලබන ආවේශය , ආභාසය හා ආලෝකය මගින් කෙනෙකුට ආයුෂ ආරක්ෂාව , චරිත ශෝභාව , වර්ණවත් පැවැත්ම , සැපවත් ජීවනය , චිත්ත බලය යන සතර පල උදා කර ගැන්මට හැකි වනු කවර අරුමයක්ද?

සිංහලයන්ගේ කතා බහේදී 'මහලු' යන වදන සුලබ ලෙස වැහැරෙනුයේ 'නාකි' යන වදනෙහි පර්යාය ශබ්දයක් හෙවත් සමාන පදයක් ලෙසය . එහෙත් එය සදොස් වහරකි. 'නාකි' යන්නෙන් ඉඳුරා ප්‍රකට වන්නේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන සමය හෙවත් වයස්ගත කාලය යන අරුත මිස අනිකක් නොවේමැයි. එහෙත් 'මහලු' යන වදනින් ප්‍රතීයමාන වනුයේ ඊට සපුරා පටහැනි අරුත් කිහිපයකි.

සිංහල 'මහලු' වදන පාලි 'මහල්ලක' ශබ්දයෙන් බි⁣ඳෙන්නකි. එම මහලු වදනෙහි ජ්‍යේෂ්ඨ , වැඩිමහල් , වෘද්ධ හෙවත් වැඩිහිටි යන අරුත් ගැබ්ව ඇත. පද සිද්ධිය සලකන කල 'මහල්ලක' යන්න 'මහ' නම් ධාතුව හෙවත් ක්‍රියා මූලයෙන් නිෂ්පන්න වූවකි. එම ධාතුව වූකලී ''පිදීමෙහි:' , 'වෘද්ධියට පැමිණීමෙහි' හෙවත් 'වැඩීමෙහි' යන අරුත්හි වැටෙන්නකි. සංඝ සාසන ව්‍යවහාරයෙහි 'සග - මහලු' පිළිවෙළින් යන යෙදුමක් වෙයි. ඉන් ප්‍රකට වනුයේ බාල - වැඩිහිටි පිළිවෙළ යන අරුතය. 'සග' වදන 'බාල' යන අරුත මෙන්ම 'තරුණ' යන අරුතෙහිද වැටේ.

පොලොන්නරුවේ රජ පැමිණි පළමු වන පැරකුම්බා රජු 'මහා' පැරකුම්බා නමින් මෙන්ම 'මහලු' පැරකුම්බා නමින්ද හැඳින්වෙයි. .මෙහිදී 'මහලු' යන්නෙන් අරුත් ගැන්වුණේ 'නාකි' යන්න නොව ජ්‍යේෂ්ඨ හෙවත් වැඩිමහල් යන්නය. පසුව බිහිවුණු පැරකුම්බා රජුන් අතර ඔහු ජ්‍යේෂ්ඨයා හෙවත් වැඩිමලා වූ බැවිනි. Parakkramabahu the Senior හෝ Parakkramabahu the great යන ඉංග්‍රීසි වහර මෙනි. 'මහලු' යන්න හුදු 'නාකි' යන සුලබ අරුතට වඩා හාත්පසින්ම වෙනස් ගරු අරුතක් ප්‍රකට කරන බව නිරුක්ත්‍යර්ථ අනුව විශද වෙයි. එබැවින් 'මහලු'' බව හුදු 'නාකි' බව ලෙස නොව බුද්ධි මහිමයේත් ජීවිත පරිඥානයේත් පරම පල සම්පතක් සේ දැකීම කවර වරදද?

කොරෝනා ව්‍යසනය කරණකොට ගෙන හට ගත් රෝග භය සහ මරණ භය උග්‍ර වීමත් සමග ඇතැම් බලවත් රටවල බලධාරීන් සිය සෞඛ්‍ය සේවා ඌනතා ගැටලුවට විසඳුමක් වශයෙන් යෙදූ අපූරු පිළියමක් ගැන තොරතුරු අන්තර්ජාතික හා අන්තර්ජාල මාධ්‍යය මගින් එකල සකල ලොවටම හෙළිව ගියේය. එය අනිකක් නොව රෝග ආසාදිත තරුණ ජනයාගේ සුවය හා ආයුෂය උදෙසා රෝග ග්‍රස්ත වයෝවෘද්ධ ජනයාට සමාදානයේ සැතපෙන්නට සැලැස්වීමය. ඔවුන් කල් ඉකුත්ව ගොස් සිටි හෙයිනි. එය වූකලී සිය රටෙහි පවත්නා දැඩි සත්කාර ඒකකයන්ගේ හිඟය මගහැර ගැන්ම සඳහා ගත් තීරණයක් බැව් එකල මාධ්‍ය මගින් මුළු ලෝකයම දැන ගති.

මම දැන් ඔබට එක්තරා ජන කතාවක් ඉදිරිපත් කරමි. එය සාවධානව කියවන ලෙස ආදරයෙන් ආරාධනය කරමි.

ඉස්සර කාලේ බලසම්පන්න ඛාන් වරයෙක් සිටියා. ඔහු තීරණය කළා වැසියනුත් එක්ක තව අලුත් සාරවත් ප්‍රදේශ සොයාගෙන යන්න. එම ප්‍රදේශ තිබුණෙ බොහෝම ඈත. දුෂ්කර ගමනක් යන්න වුණා. පිටත් වෙන්න කලින් ඛාන්වරයා හිතුවා වයෝවෘද්ධ හෙවත් නාකි මිනිස්සු ගමනට කරදරයක් කියලා. ඔහු වැසියන්ට අණ කළා වයස්ගත උදවිය සේරම මරලා දාන්න.එම නියෝගය කඩ කරන අයට මරණ දඬුවම දෙනවා කියලත් ප්‍රකාශ කළා. එක මිනිහෙක් විතරක් තමන්ගෙ වයසක පියා මරන්ඩ අකමැති වුණා. ඔහුගෙ නම ශිරාන්. ඔහු ලොකු ඔලොගුවක් ඇතුළෙ පියා හංගලා තිබ්බා.

ඛාන් වරයා ඉස්සර කරගත්ත පිරිස තම තමන්ගෙ බඩු පොදි අශ්වයන්ගෙ පිටේ බැඳගෙන ගමන පිටත් වුණා. ශිරාන් අනිත් අයට හොරෙන් පියාවත් අශ්වයා පිටේ තියාගෙන ගමන් කළා. යන ගමන් පියාට කන්න බොන්න දුන්නා. රෑට විතරක් පියා එළියට අරගෙන විවේක ලබා දුන්නා. ඔවුන් නොනැවතීම ගමන් කළා. ලොකු මුහුදක් හමුවන තුරාම. රෑ බෝවුන නිසා ඛාන් නියම කළා කඳවුරු බැඳගන්න. ටික වෙලාවකට පස්සෙ ඛාන් දැක්කා මුහුදු පත්ලෙ දිළිසෙන දෙයක්. ඒ රන් කුසලානයක් බව ඔහු හඳුනාගත්තා. ඔහු වැසියෙකුට අණ කළා මුහුදට බැහැලා ඒක අරගෙන එන්න. මුහුදට බැස්ස මිනිහා ආපහු ආවෙ නෑ. ඛාන් තවත් කෙනෙක් යැව්වා. ඔහුත් ආවෙ නෑ. මේ විදියට කීපදෙනෙක්ම යැව්වත් ඒ එක්කෙනෙක්වත් ආපහු ආවෙ නෑ. තමන්ට අණක් ලැබෙන්න ඉස්සෙල්ලා ශිරාන් පියා ළඟට ගිහිල්ලා මේකට උපදෙසක් ඇහැව්වා. පියා කල්පනා කරලා කිව්වා රන් කුසලානෙ තියෙන්නෙ මුහුදු පත්ලෙ නෙමෙයි ඒ ළඟ තියෙන කන්ද උඩය ඒකට නැගලා ගන්නය කියලා. ශිරාන් කන්ද උඩට නැගලා රන් කුසලානෙ ඛාන්ට ගෙනත් දුන්නා.

පහුවදා පිරිස නැවත ගමන පිටත් වුණා. මේ පාර ඔවුන්ට කාන්තාරයක් හම්බ වුණා. වතුර පොදක්කත් නැතුව හැමෝම පීඩාවට පත්වුණා. ශිරාන් පියා ළඟට ගිහින් වතුර හොයාගන්න උපදෙසක් ඇහැව්වා. පියා කිව්වා වහු පැටියෙක් නිදැල්ලේ ඇරලා ඌ බිම ඉව කරන තැන හාරලා වතුර ගන්න කියලා. ශිරාන් පියා කියාපු විදියට කරලා වතුර හොයා ගත්තා.

නැවත ගමන පිටත් වෙලා යන ඔවුන් මහා වැස්සකට අහුවුණා. ගින්දර නොතිබුණ හින්දා ඛාන් නියම කළා ගින්දර හොයාගෙන එන්න. මිනිස්සු කන්දට නැගලා ගින්දර හොයාගත්තත් ඇවිළෙන ගින්දර වැස්සෙ ගේන්න බැරි වුණා. ශිරාන් පියාගේ උපදෙස් අනුව ගිහින් ගිනි අඟුරු මුට්ටියක දාගෙන ඇවිත් ගිනි අවුළා ගත්තා.

ඒ වෙලාවෙ ඛාන් ශිරාන්ගෙන් ඇහුවා කොහොමද ගින්දර ගේන ක්‍රමය හොයා දැනගත්තෙ කියලා. ශිරාන් නිහඬ වුණා. ඛාන් නැවතත් සැරෙන් ඇහුවා. ශිරාන් සියල්ල එළි කළා. ඛාන් ශිරාන්ගෙ වයසක පියා තමන් ළඟට ගෙන්නලා මෙහෙම කිව්වා.

"මම මගේ නියෝගය ගැන කනගාටු වෙනවා. වයසක මිනිස්සු තරුණ අයට කරදරයක් නෙවෙයි. වයසත් එක්ක එන ඥානවන්තකම මට දැන් තේරෙනවා."



අදහස් (0)

මහලු බවේ මහිමය!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 455 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 311 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site