IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මහත්මා ගාන්ධි සහ හික්කඩුවේ සුමංගල නා හිමි

මතක හා මතය

 


ඉන්දියානුවන්ට අයිති විශාල සමාගමක් දකුණු අප්‍රිකාවේ විය. එකී සමාගම විසින් පවරන ලද වන්දි නඩුවක නීති උපදේශක වශයෙන් කටයුතු කිරීමේ කාර්ය එකල කෘතහස්ත බැරිස්ටර්වරයෙක් වූ මහත්මා ගාන්ධි භාර ගත්තේය. ඒ සඳහා දකුණු අප්‍රිකාවට යාමට ඔහු නැව් නැංගේ 1893 අප්‍රේල් මාසයේය. දකුණු අප්‍රිකාවට පැමිණි ඔහු නාටාල්හි ඩර්බන් උසාවියට ඇතුළු වන විට ඔහු දෙස ඇස දල්වාගත් වනම සිටි සුදු නඩුකාරයා ඔහුගේ තලප්පාව ගලවන ලෙස නියෝග කළේය. එය ප්‍රතික්ෂේප කළ ගාන්ධි තුමා උසාවියෙන් පිට විය. සටනක ඇරඹුමක් සිදුවූයේ එසේය.

එකල දකුණු අප්‍රිකා දේශය මහත් වූ ඉන්දීය ජනගහනයකට වාස භූමිය විය.දෙමළ , තෙලිඟු ජනයාගෙන් සහ මිල දී ගත් දකුණු ඉන්දියානු වහලුන්ගෙන් ඒ ජනගහනය සැදී තිබුණි. මිල දී ගන්නා ලද වහල් කම්කරුවෝ වසර පහක වහල් මෙහෙයකට බැඳී සිටියෝය. ඔවුන් හැඳින්වුණේ "ගිර්මිටියන්" යන නින්දා පදයෙනි. එය තද්භව වී ඇත්තේ Girmit යන ඉංග්‍රීසි අප ශබ්දයෙනි. එය ඉංග්‍රීසි Agreement යන වචනයෙහි දුෂ්පාඨයකි. මහත්මා ගාන්ධි දකුණු අප්‍රිකාවේ කල් ගෙවන සමයේ එය පාලනය කළ ඉංග්‍රීසි කාරයා හෙවත් සුද්දා එහි විසූ සෑම ඉන්දියානු ජාතිකයෙකුම හැඳින්වූයේ "කූලී" යන ගර්හිත නාමයෙනි.එහි තේරුම කුලී කාරයා යන්නය. සුද්දන් විසින් කුලීකාර නාමයෙන් හැඳින්වූ ජනයා අතර හින්දු භක්තිකයන් මුස්ලිම් ලබ්ධිකයන් මෙන්ම ක්‍රිස්තු ආගමිකයෝද වූහ. අවසානයේ ඉන්දියානු කුලීකරුවන්ගේ දරු පරපුර ක්‍රිස්තියානි ආගම වැලඳ ඉංග්‍රීසි ගති සිරිත්වලට ඇබ්බැහිව ඉන්දියානු උරුමය මුලිනිදිරී ගිය ඕපපාතික පරපුරක් බවට පත්ව ගියහ.
සුද්දන් සුළු පිරිසක් බලෙන් බලය අල්ලාගෙන පාලනය කළ කල්ලන්ගේ නිජබිමක් වන දකුණු අප්‍රිකාවට පය ගැසූ දින සිටම ගාන්ධි තුමාද එහි විසූ සුද්දන්ගෙන් බුහුමන් ලැබුවේ කුලී බැරිස්ටර් යන අවමන් පදයෙනි, සුදු නඩු කාරයාගේ අණ ගණන් නොගෙන තම තලප්පාව නොගලවා උසාවියෙන් පිටව ගොස් ගාන්ධි තුමා දැක්වූ විරෝධය එතැනින් කෙළවර වීද? කිසිසේත්ම නැත. ගාන්ධි තුමා සුදු නඩුකාරයාගේ අඥාන ආඥාවේ අසාධාරණය දකුණු අප්‍රිකානු ජනතා අධිකරණය වෙත ගෙන ගියේය. තලප්පාව සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්නයත් තලප්පාව පැලඳීමට ඇති අයිතියත් පැහැදිලි කරමින් ඔහු පුවත්පත්වලට ලිපි ලියුවේය.එම ප්‍රශ්නය එරට පුවත්පත් මගින් බලවත් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණි. අවසානයේ ඔහු "අනාදරයෙන් පිළිගත් අමුත්තෙකු" බවට පත්වෙමින් මහත් වූ ප්‍රසිද්ධියක් ද අත්පත් කර ගති.
තමා නීති උපදෙස් ලබාදෙන නඩුවට සම්බන්ධ වැදගත් කාර්යක් සඳහා සහභාගි වීම පිණිස මහත්මා ගාන්ධි තුමා වරක් දුම්රියෙන් පිට්‍රෝරියා බලා යමින් සිටියේය. දකුණු අප්‍රිකාවේ ඉන්දියානු කොම්පැනිය ඒ සඳහා ඔහුට පළමු පන්තියේ අසුනක් වෙන්කර දී තිබුණි. දුම්රිය රාත්‍රී නමයට පමණ එක්තරා දුම්රිය පොළකට ළඟා විය. දුම්රිය පොළේ සිටි නිලධාරීහු දෙදෙනෙක් ගාන්ධි තුමා සිටි මැදිරිය තුළට නැංගෝය. ඔවුහු ඔහු දෙස මඳ වේලාවක් පරීක්ෂාකාරී ලෙස බලා සිටියහ. ගාන්ධි තුමා යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියද ඔහු යුරෝපීය ජාතිකයෙකු නොවන බව එකී නිලධාරි දෙදෙනා හඳුනා ගත්හ.

"ඔබ සුදු ජාතිකයෙක් නෙමෙයි. මේ මැදිරියෙ යන්න පුළුවන් සුදු ජාතිකයින්ට පමණයි. ඔබ යන්න ඕනෑ කළු ජාතිකයන් යන මැදිරියෙ. දැන් බැහැලා ඒකට යන්න."

ඔවුහු නියෝග කළහ.

"මට පළමු පන්තියෙ ටිකට් එකක් තියෙනවා. ඒක හින්දා මට මේ මැදිරියෙ යන්න අයිතිය තියෙනවා. ඔබ කිව්වට මං බහින්නෙ නෑ."

ගාන්ධි තුමාගේ පිළිතුර විය.

"ඔබ බැස්සෙ නැත්නම් අපි පොලිසිය කැඳවනවා."

ඔවුහු කීහ.

"ඒක හොඳයි කැඳවන්න."

ගාන්ධි තුමා පැවසීය.

එතැනින් ඉවත්ව ගිය නිලධාරි දෙදෙනා පොලිස් නිලධාරියෙකු කැඳවාගෙන ආහ. එහි පැමිණි පොලිස් නිලධාරියා වේගයෙන් ගාන්ධි තුමා සුද්දන්ගේ මැදිරියෙන් එළියට ඇද දැම්මේය. ඔහු සතු ගමන් මලුද එළියට විසි කළේය. පොලිස් නිලධාරියා ඉතා ගොරහැඩි හඬින් කල්ලන්ගේ මැදිරියට යන ලෙස ගාන්ධි තුමාට අණ කළද ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
මෙවේලේ මගේ සිහියට නැගෙන්නේ විද්‍යෝදය මහා පිරිවෙන පිහිටුවා වදාළ මහා පඬි හික්කඩුවේ සුමංගල නාහිමියන්ය.
සුදු ආණ්ඩුකාරයන් ලංකාව පාලනය කරන කාලයේ විද්‍යෝදය පිරිවෙනේ පැවති බණ පිරිත් පින්කමකි. ඒ උදෙසා දේවාල තල්පත එහි සිට අනික් පන්සලකට පෙරහැරකින් වැඩම කරවීමට අවශ්‍ය විය. එකල කතෝලිකයන් හා බෞද්ධයන් අතර හටගත් මහා කෝලාහලයක පල වශයෙන් පෙරහැර පැවැත්වීම තහනමට ලක්ව තිබුණු හෙයින් ඒ සඳහා පොලිස් අවසරය ඉල්ලුවද එය ඉටු නොවුණි. එයින් බෞද්ධයෝ කුපිත වූහ. පසුව පොලිස් නිලධාරීහු දෙදෙනෙක් , ඔවුන් කලින් නුදුන් අවසරය පිරිවෙනට ගෙන ආහ.

"ඒක තියා ගන්නවා. මම පෙරහැර කරනවා. පුළුවන් දෙයක් කරනවා."

සුමංගල හිමියෝ පැවසූහ. ඔවුහු හැරී ගියෝය. පසු දා අසු පිටින් ආ උසස් පොලිස් නිලධාරියෙක් අවසර පත සුමංගල නායක හිමියන්ට පිරිනැමීය.
"ඕක ඕනැ නෑ. දැන් ඕක ආපහු අරගෙන යනවා හොඳයි, මේ අපේ බෞද්ධ රටේ අපේ ආගමික කටයුත්තක් කරන්ඩ පොලිසියෙන් අවසර ගන්නත් වෙලා. මගේ බෞද්ධයන් ලවා මම. පෙරහැර කරනවා,"

සුමංගල හිමියෝ කීහ.
වරක් සුමංගල හිමියෝ කොළඹින් පිට පළාතකට වැඩීම සඳහා කොළඹ දුම්රිය පොළේ නවතා තිබුණු දුම්රියක මැදිරියට නැගී අසුන් ගත්හ. එය දුටු එහි කලින් නැග හුන් සුද්දෝ දෙදෙනෙක් ඉංග්‍රීසියෙන් මෙවැනි කතා බහක යෙදුණහ.

"මේ කහ සිවුරු කාරයා දන්නෙ නෑ මේක වෙන් කරලා තියෙන්නෙ සුද්දන්ට කියලා."

එවේලේ පිට පළාතක සිට පැමිණි විශේෂ දුම්රියක් සුමංගල හිමියන් හුන් දුම්රිය නවතා තිබුණු මගට අල්ලපු මගේ නතර වුණි. එහි එක් මැදිරියක අසුන්ගෙන හුන් මහේශාඛ්‍ය සුදු ප්‍රභූවරයෙකුගේ ඇසට සුමංගල හිමියන්ගේ රුව ලක් වුණේ ඉබේය. ඔහු වහා පැමිණ සුමංගල හිමියන් හුන් මැදිරියට නැග උන්වහන්සේට වැඳ නමස්කාර කළේය. මෙි මහේශාඛ්‍ය පුද්ගලයා ඇස ගැසුණු සැණින් මැදිරියේ හුන් සුද්දන් දෙන්නා දෙපයින් නැගී සිටියේ ඉද්ද ගැසුවාක් මෙනි. සුදු මහේශාඛ්‍යයා ඉංග්‍රීසි බසින් සුමංගල හිමියන්ගෙන් සුව දුක් විමසුවේ මහත් වූ ගෞරව බහුමානයෙනි. සුමංගල හිමියන් ඔහු සමග ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කථෝපකථනයෙහි යෙදෙනු දුටු මගී සුද්දන් දෙදෙනා උනුනුන් මුහුණු බලා ගත්තේ
සුමංගල හිමියන් මුලින් දුටු වේලේ ඔවුන් ඉංග්‍රීසියෙන් කළ කතාබහ සිහිවීමෙනි. එවේලේ අහම්බෙන් එහි පැමිණ සුමංගල හිමියන්ට ගරු බුහුමන් දැක්වූයේ අනිකෙකු නොව එකල ලංකාව පාලනය කළ ආණ්ඩුකාරවරයාය.
හික්කඩුවේ සුමංගල නා හිමියන්ගේ භාෂාන්තර සමයාන්තර ප්‍රාඥ භාවය අරභයා , නොබෙල් ත්‍යාගයෙන් පුද ලද ඇනටෝල් ප්‍රාන්ස් නමැති විශ්ව විශ්‍රැත ප්‍රංශ ලේඛකයා කළ අගනා ඇගයුම් විවරණයකින් ගත් උද්ධෘත පාඨයකින් මේ ලිපිය අවසන් කිරීම මැනවැයි හඟිමි.
"බුදු සමය ආගමක් ලෙස හැඳින්විය හැක්කේ අමාරුවෙනි. එහි මැවිල්ලක් නැත. දෙවියෝ නැත. ඇත්ත වශයෙන් (දෙවියන් ඇදහීම) වැනි වන්දනාමානනයන් එහි නැත. එය අනික් සියලුම සදාචාර ධර්මයන්ට වඩා සුන්දර සදාචාර දහම් සමයකි. එය නිර්භය නවීන චින්තකයන්ගේ ස්වාධීනත්වයට නොපටහැනි දර්ශනයකි....."
"ලංකාවේ දකුණු බුදු සමයේ (ථෙර වාදයෙහි) මහා නායක සුමංගල හිමි නවීන විද්‍යාව ඉත සිතින් පිළිගත්තේය. පෙරෙවි කහ සිවුරු නිසා උදාර පෙනුමක් ලබන , තඹ පැහැති මුහුණක් ඇති මහලු මොහු බුලත්කමින් හර්බට් ස්පෙන්සර්ගේ ග්‍රන්ථ කියවයි."

(හර්බට් ස්පෙන්සර් කිතු සමය බැහැර කළ ඉංග්‍රීසි චින්තකයෙකි.)
මුළු ලොව කෙරෙහි මෙත් සිත පතුරුවන බුදු සමය විද්‍යාවටද හිතවත්ය. සුමංගල හිමි ඩාර්වින් හා ලිට්රේ (ඩාර්වින් පරිණාම වාදය හෙළි කළ විද්‍යාඥයෙකි. ලිට්රේ නිදහස් මතවාදී ප්‍රංශ චින්තකයෙකි.) සාධූන්ගේ ගණයෙහිලා සලකයි. ඒ දෙදෙනා අරම් වැසි මුනිවරයන් සේ අධ්‍යාත්ම රතිය , දයාව හා මෙලෝ වස්තුව නිසා උපන් පිළිකුලද ඇත්තෝය. සුමංගල හිමි පාලනය කරන දකුණු බුදු සමය (ථෙර වාදය) උතුරු බුදු සමයට වඩා තර්කයට එකඟය. බුද්ධි ගෝචරය. නිදහස් මත ගරු කරයි...... බුදු සමයෙහි අධ්‍යාත්ම හරය පමණක් සලකතොත් එය ප්‍රඥාවෙන් , මෙත් සිතින් හා අනුකම්පාවෙන්ද පිරුණකි."

(Anatole France : Life and letters, 3rd series.)
(අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ; මාර්ටින් වික්‍රමසිංහ; 36,37 පිටු.)



අදහස් (0)

මහත්මා ගාන්ධි සහ හික්කඩුවේ සුමංගල නා හිමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site