IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුල් අවධියේ ගුවන්විදුලියෙන්:

මතක හා මතය

 

 

ගුවන්විදුලි නාට්‍ය පුරාවත (3)

සිංහල නාට්‍ය ඉදිරිපත් කළ ශිල්පීන් නාට්‍ය සංගම් හා විද්‍යාල කවරේද යන්න හෙළි කරන වාර්තාවක් ඇත. එඩ්වින් පෙරේරා ; තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමය ; මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය ; සී.ඒ. ෆොන්සේකා ; ගාල්ලේ මහින්ද විද්‍යාලය ; කුරුණෑගල රජයේ සේවක සංගමය ; මීතොටමුල්ලේ ජයදේව පෙරේරා බලපිටියේ ඇල්ටන් ද සිල්වා ; ආනන්ද සරත් විමලවීර යන නම් එකී වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාව මගින් හෙළි වන වැදගත් කරුණක් ඇත. එනම් ලංකා ගුවන් විදුලිය මුල් අවධියේ සිටම සිංහල ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කිරීමට උනන්දු වී ඇති බවයි.

ගුවන්විදුලිය මුල් අවධියේදී සිංහල නාට්‍ය ඉදිරිපත් කිරීමේ අවස්ථාව නාට්‍යකරුවන්ට හා නාට්‍ය සංගම්වලට සලසා දෙන්නට ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම අනුව මෙන්ම තමන්ගේ ඇරයුම අනුවද විය හැකිය. 'සිංහ හෘදය' නමැති වේදිකා නාට්‍යය 1932 වසරේදී අඩ පැයක ගුවන්විදුලි නාට්‍යයක් ලෙස ප්‍රචාරය වූ බවත් එය පළමු වන ගුවන්විදුලි සංවාද නාට්‍ය වූ බවත් කියැවේ. එහෙත් මුල් අවධියේ ගුවන් විදුලියෙන් සිංහල නාට්‍ය ඉදිරිපත් කළ ශිල්පීන් ගැන වාර්තා වී ඇති තැන එවැන්නක් ගැන නොකියැවේ.

මුල් අවධියේ ගුවන්විදුලියෙන් සිංහල නාට්‍ය ඉදිරිපත් කළ ශිල්පීන් අතර සිටින ටී.වී.එඩ්වින් පෙරේරා මහතා ටවර් හෝල් වේදිකා නළුවෙකි. ඔහු එකල ප්‍රකටව සිටියේ ඇන්ඩි අප්පු යන අපර නාමයෙනි. පසු කලක 'එක්සත් නාට්‍ය සභාව' පිහිටුවාගෙන කොළඹ මෙන්ම පිට පළාත්වලත් නාට්‍ය ප්‍රදර්ශනයෙහි නියුතු ඔහු 1937 වසරේදී එය විසුරුවා හැර යළි නළුකමට පිවිසියේ 'කොළඹ අප්පුහාමි' (1938) හා

'සමුද්‍ර දේවී' (1942) යන නාට්‍යවල රඟ පාමිනි.

වින්සන්ට් වීරසේකර වේදිකා රංග ශිල්පියාද මුල් යුගයේ ගුවන් විදුලියෙන් විකට නාට්‍ය ඉදිරිපත් කළ කෙනෙකි. එඩ්වින් පෙරේරා 'ඇන්ඩි අප්පු' නමින් ප්‍රසිද්ධව සිටියාක් මෙන් වින්සන්ට් වීරසේකරයන්ද එකල ජනප්‍රියව සිටියේ 'කොළඹ අප්පුහාමි යන පටබැඳි නමිනි. 'කොළඹ අප්පුහාමි' නාට්‍යයේ එනමින් එන චරිතය ඔහු විසින් ඉතා ආකර්ෂණීය ලෙස රඟ පෑම ඊට හේතු වන්නට ඇත.

කීර්තිමත් පුවත්පත් කලාවේදියෙකු ලේඛකයෙකු මෙන්ම නාට්‍ය රචකයෙක්ද වූ ඩී.වී.සෙනෙවිරත්න සූරීන්ගේ 'සමුද්‍ර දේවී' වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයේ ජවනිකා දෙකක් එකල ටවර් රඟහලටම ගොස් පටිගත කොට ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් පැමිණි බවත් කියැවෙයි. මෙය සිදුවූයේ වින්සන්ට් වීරසේකරයන්ගේ සම්බන්ධීකාරකත්වයෙන් බවද සඳහන් වෙයි. එඩ්වින් පෙරේරාද 'කොළඹ අප්පුහාමි:' නාට්‍යයේ මෙන්ම 'සමුද්‍රදේවී' නාට්‍යයේද රඟ පා ඇති බැවින් ඔහු සහ වින්සන්ට් වීරසේකරයන් සමකාලීන රංග ශිල්පීන් ලෙස හැඳින්විය හැකිය. මුල් යුගයේ ගුවන්විදුලිය ඔස්සේ සිංහල නාට්‍ය ඉදිරිපත් කිරීමේදී එඩ්වින් පෙරේරාද තමා රඟ පෑ වේදිකා නාට්‍යවල ජවනිකා ඒ සඳහා යොදාගන්නට ඇත. රංග ගතවන අවස්ථාවේ පටිගත කරවා හෝ ගුවන්විදුලියට කැඳවාගෙන ගිය නළු නිළියන් ලවා සජීව ලෙස රඟ දක්වා හෝ ඔහු ඒවා ප්‍රචාරය කරන්නට ඇතැයි සිතිය හැකිය.

එඞී ජයමාන්න - රුක්මනී දේවී යුවළද එකල ගුවන්විදුලිය ඔස්සේ 'කඩවුණු පොරොන්දුව' වේදිකා නාට්‍යයේ ජවනිකා ප්‍රචාරය කළ බවට පළව ඇති පුවතද සත්‍යයක් විය හැකිය. මක්නිසාදයත් එඩී ජයමාන්නයන්ද රුක්මනී දේවියගේ සහ ⁣⁣හෙක්ටර් එදිරිසිංහයන්ගේ සහාය ඇතිව 1940 කාලයේදී ගුවන් විදුලි විකට වැඩසටහන් ප්‍රචාරය කර ඇති බැවිනි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' සහ 'සිංහබාහු' , දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරිබෑනා' ,

හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' ආදි සුප්‍රකට වේදිකා නාට්‍ය මෙන්ම වෙනත් සමකාලීන නාට්‍යකරුවන්ගේ ඇතැම් නාට්‍යද පටිගත කොට වර්තමාන ගුවන් විදුලිය විසින් ප්‍රචාරය කරනු ලැබීම ඒ අතීත ගුවන්විදුලි පූර්වාදර්ශයේ ප්‍රතිඵලයක් වැනිය.

කෙටි නාට්‍ය ඇතුළත් වුණු ගුවන් විදුලි වැඩසටහන් දෙකක් මුල් අවධියේ ලංකා ගුවන්විදුලිය ඔස්සේ සිංහලෙන් ප්‍රචාරය කෙරී ඇත. එම වැඩසටහන් දෙකම එකල එක සේ ජනප්‍රියත්වයට පත්ව පැවැති බව ලිඛිත සාධක මගින් සනාථ වෙයි. ඒ වූකලී ජේ.විජේවීරයන් විසින් සකස් කොට ඉදිරිපත් කරන ලද 'ඒක මේක' හා 'වටින් පිටින්' යන වැඩසටහන් දෙකය. මේ දෙකම විවිධාංගවලින් සමන්විත සඟරා ආකෘතිය රැගත් වැඩසටහන්ය.

ජේ.විජේවීරයන් විසින් 'ඒක මේක' හා 'වටින් පිටින්' යන වැඩසටහන් පටන්ගෙන ඇත්තේ 1942 වසරේදී පමණය. මේ වැඩසටහන් දෙකෙහිම බොහෝ සෙයින් ගැබ්ව පැවතුණේ හාස්‍ය - උපහාස රස දෙකය. එසේම ඒ වැඩසටහන් දෙක මගින් යුද තොරතුරු හා රට පිළිබඳ නොයෙක් තතු අසන්නන් වෙත ඉදිරිපත් කළ විජේවීරයෝ , විරුදු , කවි , සින්දු , විකට ජවනිකා හා කෙටි නාට්‍ය ආදි අංගවලින්ද ඒවා එක සේ විචිත්‍රවත් කළහ. රසවත් කළහ.

පසු කලක මහත් ජනප්‍රියත්වයට පත් වසන්තා සන්දනායක ගායිකාව නිතර නිතර ගී ගැයූ මේ වැඩසටහන් දෙකෙහි වාදන සහායකයන් වූයේ කෘතහස්ත ගුවන්විදුලි වාදකයන් ලෙස කීර්තියක් අත්පත් කරගත් වින්සන්ට් පෙරේරා සහ ඩී.ඩී.ඩැනී යන සංගීතඥයන්ය. එසේම මේ වැඩසටහන් දෙකට ඇතුළත් වූ ඇතැම් නාට්‍ය කොටස්වල ආ සේරසිංහ හා මිස්ට කොටවිල යන චරිත පිළිවෙළින් නිරූපණය කරන ලද්දේ එකල ගුවන්විදුලි ශිල්පියෙකු මෙන්ම නාට්‍ය රචකයෙක්ද වූ සී.ඩී.එස්. කරුණාජීව හා ගුවන් විදුලියේ දෙවන නිවේදකයා ලෙස බඳවාගත් ඩී.ටී.එල්. ගුරුගේ හෙවත් තේවිස් ගුරුගේ යන මහත්වරුන් විසිනි.

'වටින් පිටින්' වැඩසටහන්වලින් තෝරාගත් විවිධාංග එකතුකොට ජේ. විජේවීර මහතා 1948 වසරේ 'වටින් පිටින්:' නමින්ම පොතක් පළ කර ඇත. කොළඹ කොම්පඤ්ඤ වීදියේ බ්‍රිජ් ස්ට්‍රීට්හි අංක 71 ලිපිනය අයත් කරුණාරත්න සහ සමාගම විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද මේ පොත බෙදා හැර ඇත්තේ කොළඹ මරදානේ අංක 520 දරන පී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන පොත් හල මගිනි. ඒ පොතෙන් උපුටාගෙන පහත පළ කෙරෙන නිදර්ශන නාට්‍ය කොටස අනුව එකල ලියැවුණු ගුවන්විදුලි නාට්‍ය පිටපතක ස්වරූපය හා ඒ සඳහා යොදා ගැනුණු බස් වහර පිළිබඳව බින්දු මාත්‍ර අදහසක් ඇති කරගත හැකිය.


ගිනි දලුව

1 වෙනි ජවනිකාව

(සමරනායක මහතාගේ නිවස.)

සමරනායක:

දුව ලලිතා ඔය සිරිල් ගැන උඹේ හිතේ තියෙන අදහස් වෙනස් කරපන්. එයා අප්‍රිකාවෙ රක්ෂාව කරන්නත් උඹ මෙහේ ඔහු ගැන බලාපොරොත්තුවෙන් හිටින්නත් මොකක්ද මේකේ තේරුම?


ලලිතා:

ඇයි තාත්තෙ එහෙම කියන්නෙ. අම්ම මැරෙන වෙලාවෙ අවසාන මොහොතෙදිත් මට කිව්වෙ සිරිල් සමග මිසක් වෙන කා එක්කවත් බඳින්න එපයි කියලනෙ.


සමරනායක:

සිරිල් නම් හොඳ උගත් ළමයෙක් තමයි. නමුත් කවදද එයා ලංකාවට එන්නෙ? මට මේවයින් නිදහස් වෙන තුරු ඔලුවට මහ බරක් වගෙයි.

(බැල් එක නාද කරමින් තැපැල් කාරයෙක් ලියමනක් ගෙනත් දීම.)


ලලිතා:

මෙන්න තාත්තේ සිරිල්ගෙන් ලියමනක්.


සමරනායක:

බලන්න මොනවද කියල තියෙන්නෙ කියල.


ලලිතා:

කියල තියෙනව තාත්තටයි මටයි ලබන සුමානෙ කොළඹ වරායෙන් පිටත් වෙන බිබිලයින් කියන නැවකින් අප්‍රිකාවට එන්න කියල. බැංකු ඩ්‍රාප් (චැක්පතක්) එකකුත් එවල තියෙනව උවමනා වියහියදම් වලට. රට රටවල් බලන්නත් එක්ක වහාම වරද්දන්නෙ නැතුව එන්න කියල තියෙනව.


සමරනායක:

රට රටවල් බලාගන්න ලැබීමත් ලොකු වාසනාවක්. එහෙම නම් දුව අපි යන්න ලෑස්ති වෙමු. නැන්දලාට මේ ගේ දොර බලා සොයාගන්න කියල.


ලලිතා:

ඔව් තාත්තෙ කොච්චර ලොකු වාසනාවක්ද මෙහෙම ගමනක් යන්න ලැබෙන එක. එහෙම නම් අපි හෙට කොළඹ ගුහින් චැක්පතත් මාරු කරගන අපි යන නැවට මුදල් බැඳලා නියම කරගන එමු.


සමරනායක:

හොඳයි එහෙනම් හෙට උදෙන්ම කොළඹ යමු. දැන් මම නැන්දලයි ගෙදරට ගුහින් මේ වගන්තිය කියල එන කලියෙන් මේ ගමන් ගැන ඇඳුම් පැලඳුම් ලක ලෑස්ති කරගන්න. පිලිවෙලවල් යොදා ගනින්.


ලලිතා:

තාත්ත ගුහිල්ල නැන්දලාට කියල එන්න. මම මේ සූට් කේස් හේම තෙපාට කියල සුද්ද කරවන්නම්.


(ඊට දස දිනකට පමණ පසු සමරනායක මහතා සහ දූ ලලිතා බිබිලයින් නමැති නෞකාවෙන් අප්‍රිකන් නැව් තොටමුණකට පැමිණි වේලෙහි රාජ්‍ය නිලධාරි තැන්පත් සිරිල් සමරපාල මහතා ඒ දෙදෙනාව පිළිගෙන තම බංගලාවට කැඳවාගන යන ලදී.)

මුල් අවධියේ ගුවන්විදුලිය මගින් සිංහල කෙටි නාට්‍ය ඉදිරිපත් කළ තවත් වැඩසටහනකි සිරි අයියාගේ (යූ.ඒ.එස් පෙරේරා) 'ළමා තීරය'. පසු කලක අති දක්ෂ කවියෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ යූ.ඒ.එස් පෙරේරා කිවිඳුන් වඩාත් ප්‍රකටව ගියේ 'සිරි අයියා' යන පටබැඳි නාමයෙනි. එය වූකලී මුල් අවධියේ ගුවන්විදුලි ළමා වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඔහු භාවිතයට ගත් ආරූඪ නාමයයි. උක්වත්ත ආරච්චිගේ සිරිසේන පෙරේරා යන තම සම්පූර්ණ නාමයේ එන 'සිරිසේන' යන්නෙන් සකසා ගත්තකි එය. ඔහු ළමා වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම මුල් යුගයට අයත් සිංහල ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු ලෙසද සැලකේ. සිරි අයියා ගුවන්විදුලිය සඳහා නාට්‍ය රචනා කළේ

මීතොටමුල්ලේ 'ජයදේව' යන අපර නාමයෙනි.



අදහස් (0)

මුල් අවධියේ ගුවන්විදුලියෙන්:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site