ඒ 06 වන දශකයයි. අංකුර සාහිත්‍ය ලෝලීන් හා මාධ්‍ය ලෝලීන් වශයෙන් අප භද්‍ර යෞවනයේ පසුවුණු සුන්දර අවධියයි. එකල අපි එක සේ දිවාචරයන් මෙන්ම නිශාචරයෝද වීමු. මගේ දිවාචර දිවියේත් නිශාචර දිවියේත් කුලුපග සගයන් අතර සුනන්ද මහේන්ද්‍රයෝ අග තැන් ගත්හ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන් ඔහු ගුවන් විදුලි ළමා පිටියේ නිත්‍ය සාමාජිකයෙකි. එකල සතියේ දවස් හතේම සවස පහේ සිට හය දක්වා නම් හතකින් යුතුව ළමා පිටි හතක් ප්‍රචාරය විය. ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර තුඩ තුඩ නම රැන්දූ ප්‍රශස්ත ගුවන්විදුලි නිෂ්පාදක කෝවිදයන් හත් දෙනෙකුගේ නිෂ්පාදකත්වයෙනි. එකල සුනන්ද මහේන්ද්‍රයෝ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ 'සරස්වතී මණ්ඩප' නමින් දන්නා ළමාපිටිය එකලු කළ අග්‍රේසර නව යොවුන් ගුවන්විදුලි ශිල්පියා වූහ. පාසල් වියේ සිටම ඔහු ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර පමණක් නොව පුවත්පත් පාඨකයන් අතරද තුඩ තුඩ නම රැන්දූ අකාල පරිණත අංකුර නවයොවුන් ලේඛකයෙක් විය. එකල පැවති ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල මෙන්ම විවිධ සඟරාවලද ඔහුගේ ලිපි , පරිවර්තන , කවි හා කෙටිකතා නිරන්තරයෙන් පළ වූ හෙයිනි.
නර කෙස් පහළව ජීවිතයේ දශක දශකයේ 08 වන දශකය ගෙවන අප දෙදෙනාගේ සන්මිත්‍ර සන්ථවයේ මූල ප්‍රතිසන්ධිය සිද්ධ වූයේද භාග්‍යවන්ත ගුවන්විදුලි සංවාසයේ අභීෂ්ට පලයක් වශයෙනි. එවකට ප්‍රකටව විසූ බොහෝ ගිහි පැවිදි ලේඛකයන් , පඬිවරුන් , විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් , ගුවන්විදුලි ශිල්පීන් , පුවත්පත් කලාවේදීන් ආදි විවිධ ක්ෂේත්‍රවලට අයත් කෘතහස්ත බහුශ්‍රැතයන් හා සුනන්දයන් අතර පැවති සුහද , සමීප ඇසුර මටද අසිරි ඉසුරක්ම විය.
ඒ අවධියේ නිශා චාරිකාවේදී කෙසේ වුවද දිවා චාරිකාවේදී මට නිතර නිතර ඇස ගැසුණු වෙසෙස් පුද්ගල චරිතයක් විය. ඇතැම් දහවලක පිටකොටුවේ ඇම්.ඩී. ගුණසේන සාප්පුවේදී හෝ කොටුවේ ලේක්හවුස් පුවත්පත් ආයතනය අසලදී හෝ ඔහුගේ රුව මගේ නෙත ගැටුණු අතර බොහෝ දිනවල බොරැල්ල හන්දියේ කොතැනකදී හෝ ඔහු මගේ ඇසට නොවැරදීම හසුවිය.
එකල මැදි වියේ පසු වුණු , එතරම් උස මහත නැති ඔහු නිතරම දක්නට ලැබුණේ කලිසම් කෝට් ඇඳ , ටයි පටියක් පැලඳ ගමන් කරන අයුරුය. සුදු පාට මිස වෙනත් පාටක් ඔහු ඇඳ සිටි බවක් මට මතක නැත. එතරම් කඩවසම් යැයි කිය නොහැකි පෙනුමකින් යුත් මොහු මා ඉතා ගරු කළ හා ප්‍රිය කළ ප්‍රකට පුද්ගල චරිතයක් වුවද ඔහු මුණ ගැසී කතා කිරීමට තරම් භාග්‍යයක් එකල මට අත්ව නොතිබුණි. ඒ ගැන මා ළතැවුණු අයුරු දැනුදු සිහියට නැගෙයි.
උසස් ගණයේ කෙටිකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකුද වශයෙන් ඔහු කෙරෙහි මා තුළ පළමු බැති හැඟුම ඇති කළේ මගේ S.S.C පන්ති ගුරු අක්මීමන කේ.ජී. කරුණාතිලක සර්ය. පාරම්පරික සම්භාව්‍ය භාෂා සාහිත්‍යය මෙන්ම විශිෂ්ට විශ්ව සාහිත්‍යය අරභයාද අප තුළ කිසි දා නොනිවිය හැකි උනන්දුවක් දල්වා ලූයේ ඔහුය.
G.B.S යන අකුරු තුන මුල්ව හැදුණු නමින් යුත් සාහිත්‍යකරුවෝ දෙදෙනෙක් කේ.ජී. කරුණාතිලක සර් ගේ ඉමහත් ගරු බුහුමනට පාත්‍රව සිටියහ. ඔවුන් දෙදෙනා අප පන්තිය ඉදිරියේ කරුණාතිලකයන්ගේ ඇගයීමට ලක් වූයේ වරක් දෙවරක් නොවේ. ඔහු මුව නොසෑහෙන සේ පසසමින් අපට හඳුන්වා දුන් එම උභය සාහිත්‍යකරුවන් තම ජාතිය හා භාෂාව අතින් වෙනස් වුවද දෙදෙනාම දෙරටක කීර්තිමත් ප්‍රතිභා සම්පන්නයෝ වූහ. ඔවුහු සාහිත්‍ය නිර්මාණකරුවන් මෙන්ම විචාරකයන් ලෙසද එක සේ ප්‍රකටව සිටියෝය.
ඉන් එක් සාහිත්‍යකරුවෙක් අයිරිෂ් ජාතිකයෙකි. අනෙක් සාහිත්‍යකරුවා සිංහලයෙකි. කරුණාතිලකයන්ගේ ඉමහත් ඇගයීමට හා පැසසුමට ලක් වූ අයිරිෂ් ජාතික සාහිත්‍යකරුවා වනාහි ජෝර්ජ් බර්නාඩ් ෂෝය. එම නම G.B.S යන අකුරු තුන මුල්ව සැදුණකි. එංගලන්තයේ මහා කවි විලියම් ශේක්ස්පියරයන්ගේ නාට්‍ය මෙන්ම ඉංග්‍රීසිකාරයාගේ භාෂාවද නිර්දය හා නිර්භය ලෙස කර්කශ විචාරයට ලක් කළ ෂෝ (1856 -1950) ප්‍රශස්ත නාට්‍යකරුවෙකු , චතුර ලේඛකයෙකු මෙන්ම නිෂ්ඨුර විචාරකයෙක්ද වෙයි. .1925 අවුරුද්දේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ඔහු සමාජවාදියෙකි. කරුණාතිලකයන් ශ්‍රේෂ්ඨ කොට සැලකූ සිංහල සාහිත්‍යකරුවා වූකලී ගුණතිලක බණ්ඩා සේනානායක හෙවත් ජී.බී. සේනානායකය. එම නමටද G.B.S අකුරු තුන මුල්ව සිටී.
එකල මා දිවා කල කොටුවේ , පිට කොටුවේ හෝ බොරැල්ලේ සැරිසැරූ අවස්ථාවල වරින් වර මගේ ඇස ගැසුණු අර වෙසෙස් පුද්ගල චරිතය අන් කිසිවෙක් නොව කීර්තිමත් ලේඛක ජී.බී.සේනානායකයන්ය.
06 දශකයේ වෙසෙසින් සාහිත්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රයන්හි කිතු රැස් විහිදමින් සිටි විශිෂ්ට පුද්ගල චරිත හා සුනන්ද මහේන්ද්‍රයන් අතර පැවති සමීප ඇසුර මටද අසිරි ඉසුරක් වුණු හැටි ඉඳුරා පසක් කරවන එක් අනුස්මරණීය අවස්ථාවක් වනාහී ඔහු සමග ජී.බී.සේනානායකයන් සොයා යෑමයි.
එකල මුළු බොරැල්ලටම තිබුණේ උස ගොඩනැගිලි දෙකක් හා එක සිනමාහලක් පමණි. සිනමාහල රිට්ස් නම් විය. එක් උස් ගොඩනැගිල්ලක් පිහිටියේ රිට්ස් සිනමා හලට යාබදවය. ඒ දිනවල එම ගොඩනැගිල්ලේ බිම් මහලේ රිට්ස් නමින් හෝටලයක් විය. එබැවින් ගොඩනැගිල්ලද ප්‍රසිද්ධ වූයේ රිට්ස් යන නමින්මය. රිට්ස් සිනමා හල අසල තවමත් ඇති ඒ ගොඩනැගිල්ලෙහි පෙර පැවති හෝටලය අතුරුදහන්ව ගොස් පසු කලක බැංකුවක් පහළ විය.
එකල බොරැල්ලේ තිබුණු අනික් උස ගොඩනැගිල්ල පිහිටියේ වෝඩ් ප්ලේස් පාරත් ඥානාර්ථප්‍රදීප මාවතත් එකට මුණ ගැසෙන බොරැල්ල හන්දිය අසලය. එකල ඒ ගොඩනැගිල්ලේ හන්දිය දෙසට මුහුණ පා සිටි පැත්තේ ඉහළින් ලොකු රවුම් ඔරලෝසුවක් සවිකොට තිබුණි. බොරැල්ල හන්දිය පසුකොට බසයෙන් මෙන්ම පයින්ද යන එන්නන් වේලාව බලා ගත්තේ ඒ ඔරලෝසුවෙනි. පසු කලක එය සදහටම නැවතී තිබෙනු පෙනුණි.
බොරැල්ල හන්දියේ පිහිටි එකී ගොඩනැගිලි දෙකේ එකල වෙසෙස් පුද්ගලයෝ දෙදෙනෙක් විසූහ. ඔවුන් අතරින් එක් අයෙකු සුප්‍රකට වූ අතර අනිකා විසුවේ ඉතා අප්‍රකටවය. සුප්‍රකටව සිටි තැනැත්තා වනාහි වෙද මහතෙකි. ඔහු වෙදකම මෙන්ම කවිකමද කළේය. එහෙත් ඔහුගේ නම වඩාත් පතළව පැවැතියේ කාන්තා පක්ෂයේ සකල විධ ඔසප් ව්‍යාධි දූරිභූත කරන එසේම පුරුෂ පක්ෂයේ නෂ්ට කාම , ධ්වජ භංග ආදි දෝෂ භංග කරන වෛද්‍ය කෝවිදයෙකු වශයෙනි. ඔහු එකල විසුවේ වෝඩ් ප්ලේස් පාර සහ ඥානාර්ථ ප්‍රදීප මාවත මුණගැසෙන තැන වූ උස් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවක කාමරයකය. පසු කලක එම උස් ගොඩනැගිල්ල බිමට සමතලා කොට එතැන තනි තට්ටුවේ කුඩා ගොඩනැගිල්ලක් තනා ඇත.
බොරැල්ලේ රිට්ස් හෝටලය පිහිටි අනික් උස ගොඩනැගිල්ලේ උඩ තට්ටු කාමර එකල බෝඩිංකාරයන්ගේ නවාතැන් බවට පත්ව තිබුණි. එදා එහි උඩ තට්ටු කාමරයක අප්‍රකටව විසූ පුද්ගලයා වූකලී අනිකෙක් නොව කීර්තිමත් ලේඛක ජී.බී. සේනානායකයන්ය.
එක්තරා සැන්දෑ සමයක මා සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන් මාද කැටුව බොරැල්ලට ගියේ සේනානායකයන් බැහැ දැකීමටය. ඔහු එහි විසූ බවක් කිසිවෙක් දැන සිටියේ යැයි නොසිතමි. සමාජ පයුරුපාසනයෙන් බැහැරව හුදෙකලා වාසයට හිත නතු කර සිටි සේනානායකයන්ගේ ඒ අපූරු චරිත ලක්ෂණය කෙසේ උපන්නක් දැයි නිගමනය කළ හැක්කේ ඔහුගේ පුද්ගල චරිතය අරභයා ගැඹුරින් විමසා කරන නිරීක්ෂණයක් මගින් පමණි.
ඒ අවධිය වන විට ජී.බී. සේනානායකයෝ කිසිදු ස්ථිර රැකියාවකින් තොරව පූර්ණ කාලීන වෘත්තීය ලේඛකයෙකු ලෙස කල දවස ගෙවමින් සිටියහ. එකල ඔහු විචාරක ප්‍රශංසාවට පාත්‍රව සිටියේ ශූර කෙටි කතාකරුවෙකු හා සාහිත්‍ය විචාරකයෙකු වශයෙනි. එළිවැටෙන් හා සතර පදයෙන් මිදුණු නිදහස් පද්‍ය රීතියේ පුරෝගාමියා ලෙසද ඔහු එවක විචාරක සම්භාවනාවට භාජනව සිටියේය.
සුනන්ද මහේන්ද්‍රයන් සහ මා ජී.බී.සේනානායකයන්ගේ කාමරය අසලට යන විට එහි දොර වසා තිබුණි. සුනන්දයන් දොරට තට්ටු කොට වැඩිවෙලාවක් යන්නට මත්තෙන් දොර ඇරී ගියේය.
සරමකින් සහ අත් කොට මේස් බැනියමකින් සැරසී සිටි ජී.බී සේනානායකයන් අප ඉදිරියට ආවේ How are you Sunanda යැයි කියමිනි.
සේනානායකයන් එවේලේ පෑ සුහද සිනාව සුනන්දයන් හා ඔහු අතර පැවති සුහද දැනහැඳුනුම්කමට මනා සාධකයක් විය. සුනන්දයන් මා ජී.බී. සේනායකයන්ට හඳුන්වාදීමෙන් පසු අප කාමරය තුළට කැඳවූ සේනානායකයෝ අපට වාඩිවෙන්නට සැලසූහ.
අප දෙදෙනා සමඟ සිංහලෙන් කතාව ඇරඹූ සේනානායකයෝ වරින් වර ඉංග්‍රීසි බසින්ද යම් යම් දේ පැහැදිලි කළහ. එය ඔහුගේ ඇබ්බැහියක් සේ පෙනුණි. මා සුනන්දයන් සමග මාර්ටින් වික්‍රමසිංහයන් බැහැ දැකීමට ඔහුගේ ගෙදරට ගිය අවස්ථාවලදී යෙදුණු අල්ලාප සල්ලාපයේදී හැම විටම සිංහලෙන්ම කතා කිරීම වික්‍රමසිංහයන්ගේ සුපුරුදු සිරිත විය. එහෙත් ඒ සිංහලය ඔහු පොත පතේ ලියන සිංහලයට අසමාන නොවේ.
ජී.බී. සේනානායකයන් එදා මා සහ සුනන්දයන් සමග පැවසූ අදහස් සියල්ලක්ම අකුරක් නෑර දැන් මට එපරිද්දෙන්ම සිහි කළ නොහැකිය. එහෙත් ඔහු කෙටිකතාව සම්බන්ධයෙන් ඔහු දැරූ අදහස් අපට හෙළි කළ බව මට පැහැදිලිව මතක ඇත. අසහාය රුසියානු කෙටිකතා කරුවෙකු වන ඇන්ටන් චෙකෝෆ් , ප්‍රංශ කෙටිකතා කරුවෙකු වන ගී ද මෝපසාන්ට් සහ ඇමෙරිකානු කෙටිකතා කරුවෙකු වන එඩ්ගා ඇලන් පෝ යන තිදෙනා ගැන ඔහු කතා කළේ මහත් ප්‍රශංසා මුඛයෙනි.අපමණ බැති සිතිනි.
තම ලේඛක ජීවිතයට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ලැබුණු ආලෝකය ගැන සේනානායකයන් අතිශය කෘතගුණ පූර්වකව එදා අප සමග සිය හැඟීම් පළ කළේ මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. කෙටිකතා රචනය අරභයා සේනානායකයන් බොහෝ කරුණු විශද කළේ එකල කෙටිකතා රචනය කෙරෙහි වෙසෙස් උනන්දුවකින් පසුවුණු සුනන්දයන් දිරි ගැන්වීම අරමුණු කොටගෙනය යනු මගේ කල්පනාවයි.
සේනානායකයන් අප සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මුළු කාලය පුරාම ඔහුගේ දකුණු අතේ දෑඟිලි අතර රැඳි සිගරට් එකක් නෑර එකක් දැල්වී දැවී ගියේ නොනැවතීය. එයද ඔහුගේ ඇබ්බැහියක් විය.
බොහෝ වේලා සේනානායකයන් සමග පිළිසඳරේ යෙදී සිටි අප දෙදෙනා ඔහුගෙන් සමුගෙන කාමරයෙන් පිට වෙද්දී එළියට ආ ඔහු තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේ මෙසේ පවසමිනි.
"මේ සිගරට් එකට ඇබ්බැහි වෙච්ච විදියට මං අඩි ගහන්නත් පුරුදු වුණා නම් I would have been a drunkard."
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
අප්‍රකටව දිවි ගෙවූ සුප්‍රකට ලේඛකයා