(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

දිට්වා සුළි කුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමට සහ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අද පත් කරනු ලැබීය.

විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබ සිටියි.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇන්ටන් ජයකොඩි අරුණ ජයසේකර නීතිඥ අනුරාධ ජයරත්න හෙක්ටර් අප්පුහාමි රෝහිනී කුමාරි විජේරත්න එම්.කේ.එම් අස්ලම් අනුෂ්කා තිලකරත්න කන්ද සාමී ප්‍රභූ, රුවන් මාපල ගම සහ පද්මනාදන් සත්‍යලිංගම් යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

මෙම කමිටුව පත් කර ඇත්තේ විපක්ෂයේ ඉල්ලීමක් අනුවය. දිට්වා සුළි කුණාටුව පිළිබඳව කල් තියා තොරතුරු ලැබී තිබියදී ඊට පෙර සූදානම් නොවීමෙන් විශාල විපතක් ඇතිවුණු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතේදීත් රජයට චෝදනා කළහ.