IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


​ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක්

(*** නිමන්ති රණසිංහ)

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18) කරුණු වාර්තා කළේය.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් ජාලයෙන් සිදුකළ ක්‍රියාවන් රාශියක තොරතුරු පොලිස් භාරයේ ඇති ඔහුගේ පරිගණක උපාංග සහ දුරකතනවලින් හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීම” යනුවෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඔහුගේ මුහුණු පොතේ පළ කර ඇති මෙම සැකකරු එයින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළන ආකාරයේ මෙන්ම අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ තොරතුරු ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“මම මුස්ලිම් අන්තවාදියෙක් වෙමි” යන මැයෙන් ඉකුත් 07 වැනිදා ද සිය මුහුණු පොතෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඔහු “විදේශයේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් යොදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාකාරකම් රාශියක් සම්බන්ධයෙන් වන හෙළිදරව්ව” යන ශීර්ෂයෙන් ද, අන්තවාදය ප්‍රවර්ධනය කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘‘අධර්මිෂ්ට සිංහලයන් සත්‍ය ඉදිරියේ දණ ගැසෙන කාලය එළැඹ ඇත”  “පෞද්ගලික වාසි සොයා දේශපාලනයේ නියැලෙන රාජපක්ෂලාට කඩේ යන, සිවුරක් පොරවා ගත් සැණින් තමා භික්ෂු නමක් බවට රටම අන්දවන පිරිසගේ අවධානය පිණිසයි” යනුවෙන්ද සඳහන් කරමින් මෙම සැකකරු මුහුණු පොත හරහා වීඩියෝ පටයක් ද ප්‍රචාරය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. ඒ අනුව සැකකරු ඊයේ (18) තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදි සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු විසූ අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පිහිටි නිවාස සංකීර්ණයක නිවසකට කුලිය වශයෙන් රුපියල් 80,000ක මුදලක් ද, කුලී පදනම මත ලබාගත් වාහනයක් සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක්  සහ සේවකයන් දෙදෙනකු සහිතව පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයක කුලිය වශයෙන් මාසිකව රුපියල් 1,25,000ක මුදලක් ද ලබා දෙන බවට කරුණු හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම කරුණු හේතුවෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වහාම භාරදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

 



අදහස් (0)

​ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site