(මනෝප්‍රිය ගුණසේකර)

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු ඇප මත මුදාහැරීමටද නියම කළේය.

රුපපියල් 25000/-ක මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මඟින් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා තිබිණී.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට බාරදුන්නේය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් 2010 නොවැම්බර් 10 වැනිදා අපදා කළමණාකරන අමාත්‍යංශයට ලෑන්ඩ් කෲසර් රථයක් ඇතුළු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහන පහක් ලබාදී තිබු බවත් එසේ ලබාදිී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් වසර හතරක කාලයක් පුරා පාවිව්වි කිරීම මඟින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණී.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා නඩු විභාග දිනවලදී අධිකරණයේ පෙනී සිටීමටද නියම කළේය.