යුද හමුදාවෙන් පැන ගිය දස දෙනකුට පසුගිය ජනපතිවරණ සමයේ රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහායක කපිතාන් හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව විභාගය කොළඹ මහාධිකරණය පෙබරවාරි 18 වැනි දාට කල් තැබීය.

නඩුවේ තෙවැනි විත්තිකාර යුද හමුදා පොලිසියේ ලුතිනන් ජනරාල් ප්‍රේමලාල්ට සාක්කි දීම සඳහා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.

සිංගප්පූරුවේ ග්‍රීන් එළිසබෙත් රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ෆොන්සේකාගේ හා හරිප්‍රිය ද සිල්වාගේ ගමන් බලපත් රුපියල් ලක්ෂය බැගින් වූ බැඳුම්කර දෙකක් මත මුදා හැරීය.

සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නොවැම්බර 21 වැනි දා තෙක් කල් දුන් අධිකරණය ඉන් පසු ගමන් බලපත් අධිකරණයට භාර දෙන ලෙස නියෝග කැරිණි.

ජනාධිපති නීතීඥ සාලිය පරීසි, රුක්ෂාන් නානායක්කාර හා තනූක නන්දසිරි ෆොන්සේකා වෙනුවෙන් ද, උපුල් ජයසූරිය හා කැලුම් කුමාරසිංහ හරිප්‍රිය සිල්වා වෙනුවෙන් ද පෙනී සිටියහ.