(සුජිත් හේවාජුලිගේ )

කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට නිදහස් මාවතේ ඊයේ (1) පැවැති සමගි ජන බලවේග  මැයි දින සමරු උළෙලේදී  පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද  ඔහුට බැන තර්ජනය කළ  ඒ  පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ එම ක්‍රියාකලාපය   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී අද (2) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු  සියලුම මන්ත්‍රීවරුන්ගේ  දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු එක හඬින් පවසා ඇත්තේ  එය  අසීලාචාර අශෝභන ක්‍රියාවක් බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක  කාර්යාලයේදී  අද (2) පැවැත්විණ.

දෙනෝ දාහක් බලා සිටියදී කළ එම ක්‍රියාව හිටපු හමුදා නායකයකුට පරිණත පුද්ගලයකුට  නොගැලපෙන එකක්  බවද  තවත් සමහර මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවට එරෙහිව  සමගි ජන බලවේගයේ  පා ගමන ඉතාම සාර්ථකව ක්‍රියාත්මක  කිරීමෙන් පසු අවසානයේදී  මෙවැනි ක්‍රියාවක් සිදුවීම කිරි කලයට  ගොම බිංදුවක් දැමීම හා සමාන යැයිද අද සියලු මාධ්‍ය කතා කරන්නේ එම රැලියේ සාර්ථකත්වය නොව මේ සිද්ධිය යැයිද   ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් මේ රැස්වීමට ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වූයේ නැත.

ෆොන්සේකා මහතා  මේ අවස්ථාවට සහභාගී වූයේ නම්  ඔහු කළ ඒ  වැරැද්ද ඔහු ඉදිරියේම  පෙන්වා දෙන බව මෙහිදී අදහස් දක්වා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර  ඇතැයි දැනගන්නට ඇත.

සරත් ෆොන්සේකා මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ සරමෙන් ඇද මෙසේ තර්ජනය කර  ඇතැයි පැවසෙන්නේ රැස්වීමේ කථික ලැයිස්තුව සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුවය.