(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම පොලිස් අත්අඩංගුවට තරුණයාගේ මරණයට හේතුව නොදක්වා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට විවෘත තීන්දුවක් ලබාදීමට (27) දා පියවර ගත් බව කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව මූනමලේ වත්ත ඉෂාර හර්ෂ කුමාර නමැති එක් දරු පියෙකි.

හෝමාගම පොලිසිය  ඉකුත් 25 දා අලුයම  සැකපිට අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී ඇති වූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

පසුව මේ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිද ඇතුළු පවුලේ ඥාතීන් පවසා සිටියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට සිදු කළ අමානුෂික පහරදීම් හේතුවෙන් මියගොස් ඇතිි බවයි.

ඒ අනුව හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කෙරිණි.

පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා කඩිනම් විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මේ අතර හෝමාගම පොලිසියට සහ මෘත දේහය තැන්පත් කර තිබූ හෝමාගම රෝහලට මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කොට පොලිසියට නියෝග කර තිබුණේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් එහි විශේෂඥ වෛද්‍යවරයා ලවා මෘත දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.