( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09) අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම ජනවාරි මස 18 දා විභාගයට ගැනීමට දින නියම කළේය.
මෙම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවිණි.
එහිදී රැදවුම්භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බව කියා සිටියේය.
එම නඩුවට අදාළව ඇප නියම කරන ලෙස තම සේවාදායකයාගේ නීතිඥවරු පුත්තලම මහාධිකරණයට ඉල්ලීම් ඉදිරිපත් කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (2) වගන්තිය යටතේ විත්තිකරු ඇප මත මුදා හැරීමට තමාට බලයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරිය විසින් තීන්දුකර ඇති බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.
ඒ අනුව තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන මෙම ඇප ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් තමන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd