(ආනන්ද ඉ ජයකොඩි, එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන, පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ඉන්දිකා රාමනායක)

කුඩා වෑන් රථයකින් පැමිණි හොරු කණ්ඩායමක්   අද (2) පාන්දර දංඕවිට නගරයේ මත්පැන් අලෙවි හලක් කඩා මත් පැන් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් ධාවනය වෙමින් තිබූ  ලංගම බස් රථයක සිටි විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක  වෙඩි වැදී බරපතළ තුවාල ලබා  ඇය වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතරමගදී මිය ගොස් ඇතැයි පොලිසිය කීය.

 එසේ මිය ගොස් ඇත්තේ හබුරුගල වන්නිගහවත්ත පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නැමැති විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

වෙඩි කා ගෙන කුඩා වෑන් රථයෙන් පලා ගිය සොරුන් වත්තල මා බෝල දක්වා  ගොස් වෑන් රථය එහි දමා තුවාල ලබා සිටි සොරුන් දෙදෙනෙකු  ත්‍රිරෝද රථයකින් ගොස්  රාගම රෝහලට ඇතුළත් වීමත් සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලීසිය පැවසීය.

ඔවුන් දෙදෙනාව රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා හා සොරුන් දමා ගිය වෑන් රථයද රාගම පොලීසිය භාරයට ගෙන ඇති බවත් තවත් සොරුන් කිහිප දෙනෙකු පැන ගොස් ඇති හෙයින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

එම වෑන් රථය තුල මත්පැන් බෝතල් කිහිපයක් හා අලුත් වාහන ටයර් කිහිපයක් ද තිබී ඇත.

සොරුන් වෑන් රථයෙන් පැමිණි ඊයේ 02 පාන්දර 04 ට පමණ දංඕවිට නගරයේ පවත්වා ගෙන යන මත්පැන් අලෙවි හලක් කඩා මත්පැන් බෝතල් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ලද තොරතුරකට අනුව දංඕවිට පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ කිට්ටු වෙන්න එපා වෙඩි තබනවා යැයි සොරුන් කෑ ගැසීමත් සමග පොලිස් නිලධාරීන් ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේ කොල්ලකාර සොරුන් වෙඩි කාගෙනම වෑන් රථයෙන් කොළඹ දෙසට පලා ගොස් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

එම වෙඩිල්ලක් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයක සිටි එම කාන්තාවටද වැදී ඇති බවද මූලික  පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

කොල්ලකාර සොරුන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත් ඔවුන් දමා ගොස් තිබූ වෑන් රථය මහනුවර ප්‍රදේශයෙන් සොරා ගෙන තිබූ එකක් බවට රාගම පොලීසිය කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මිය ගොස් ඇති කාන්තාව සිය සැමියා හා මව සමග අනුරාධපුර සිට කොළඹ බලා ලංගම බස් රථයෙන් ගමන් කර ඇති බව ද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

පැන ගොස් ඇති අනෙක් කොල්ලකරුවන් හා ඔවුන් සන්තකයේ තිබූ බවට සැක කෙරෙන ආයුධ සොයා ගැනීම සඳහා රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක අබේරත්න හා පොලිස් කොස්තාපල් ප්‍රියංකර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.