(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ අසාර්ථක උත්සහායට උදව් උපකාර කර අනතුරුව පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයිද දැනගන්නට ඇත.

ඊට අමතරව හරක් කටා නැමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයිද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පිංකමට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද හරක් කටාගේ පලායාමේ කුමන්ත්‍රණයේ තිරය පිටුපස කොටස්කරුවන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොස්තාපල්වරයා විදේශ රටකට පලා ගොස් ඇති බවට හැඟවීම සඳහා නොයෙක් ක්‍රම මඟින් උත්සාහ ගත්ත ද ඔහු එලෙස පලා ගොස් නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.