(විමුක්ති එස් රුද්‍රිගු)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබෙන 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න සහ 'කුඩු සළිඳු' හෙවත් සළිඳු මල්ෂිත තවත් දින 90 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඳුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂිත තවත් දින 90 කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසරය ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දෙනු ලැබ ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවූම් නියෝග ලබා ගැනීමට ප්‍රමාණවත් කරුණු නොමැතිනම් හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්නව වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඔහු විසින් තම රැඳවුම් නියෝග වලට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය පසුගිය 6 වැනිදා රහස් පොලීසියට සහ පොලිස්පතිවරයාට නියෝග කළේය.වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් විය.

කෙසේ නමුත් පෙත්සම්කරුට එරෙහිව රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට ප්‍රමාණවත් කරුණු ඇත්නම් මෙම රැඳවුම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආරක්ෂක ඇමතිවරයාට මෙම නියෝගය කිසිදු බාධාවක් නොවන බවද එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.