(ක.ග.කරුණාරත්න)

නිධානයකින් ලබාගත් දඹරන් බව අඟවා රන් ආලේපිත ලෝහ කැබලි තොගයක් පොලොන්නරුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකුට රුපියල් ලක්‍ෂ 30කට අලෙවි කිරීමට සූදානම් වූ අඹු සැමියන් එම ව්‍යාජ ලෝහ කැබලි තොගය සමඟ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප‍්‍රදේශයේදී මෙම ජාවාරම සිදුකරමින් සිටියදී පොලීසිය උපායදූතයකු යොදවා වැටලීම සිදුකර තිබේ.

පොලිස් අත් අඩංගුවට පත් කාන්තාව සහ ඇගේ සැමියා පොලොන්නරුව, කාලිංගඇල, මොණරතැන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙලිවී ඇත.

මරංචි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන්ද පොලොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් බව අනාවරණයවී තිබේ.ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් ලක්‍ෂ 18කටද අනෙක් දෙදෙනාට රුපියල් ලක්‍ෂ 12 බැගින්ද මුදලට මරංචි විකිණීමට සූදානමින් සිටි බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.