(තිලකරත්න දිසානායක)

විභාග දෙපාර්තමේන්තුව , රාජ්‍ය විශ්වවිද්‍යාල , රාජ්‍ය ආයතන , පෞද්ගලික විශ්වවිද්‍යාල , පෞද්ගලික ආයතනයන්හි විවිධ නිලතල මෙන්ම නම්ද සහිතව මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර සහතික නිකුත් කළ බව කියන පුද්ගලයකු සමග විවිධ ආයතන සහ නිලධාරීන්ගේ තනතුරු සඳහා භාවිතා කරන මුද්‍රා 50 ක් ඇතුළු මුද්‍රණ යන්ත්‍ර කිහිපයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සදහන් කරයි.

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළ ඉඹුල්ගොඩ , රාජසිංහ මාවතෙහි රුපියල් 30,000 ක මාසික කුලියට ලබාගත් කාමරයක , කාර්යාලයක් පවත්වාගෙන යමින් මොහු මෙම ජාවාරම සිදු කොට ඇති බව පොලීසිය පවසයි.

තංගල්ල , රන්න ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු 2024 වර්ෂයේදී යක්කල , කළගෙඩිහේනේ කුලී පදනම මත ලබා ගත් ස්ථානයක රැඳී සිටිමින් මෙම හොර ජාවාරම ආරම්භ කොට ඇති බවත් මීට වසරකට පමණ පෙර ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් කාමරයක් කුලියට ගෙන ඇති අතර පදිංචි ස්ථාන මාරුකරමින් මෙම ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කරයි.

ගම්පහ කොට්ඨාස බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකුට ලැබී ඇති තොරතුරක් මත අදාළ ස්ථානය වටලා සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එහි තිබී සහතික නිකුත් කිරීම පිනිස ව්‍යාජ ලෙස සකස්කර ලද කොළඹ , පේරාදෙණිය, රජරට , වයඹ , කැලණිය යන රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි පීඨාධිපතිවරුන් , ලේඛකාධිකාරී ඇතුළු විවිධ තනතුරුවලට අදාළ මුද්‍රා , පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි මුද්‍රා , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි උසස් නිලධාරීන්ට අයත් නිල මුද්‍රා 50 ක් පමණ , විහාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විභාග සහතිකවලට සමාන සහතික , ව්‍යාජ ලෙස සැකසූ උප්පැන්න සහතික, විදේශගතවීම සදහා නිකුත් කරනු ලබන සහතිකවලට සමාන සහතිකද ඇතුළුව සහතික 500 ක් පමණ අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය පවසයි.