තමා සන්තකයේ සිටින අලියාට බලපත්‍රයක් ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කථානායකට, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ට, පාර්ලිමේන්තු සභා නායකට හා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකට ලිඛිතව දන්වා ඇත.

ලියාපදිංචි නොකළ අලියකු තමා සන්තකයේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (9) සඳහන් වී යැයි කියන මහේස්ත්‍රාත් සඳහන් කරනුයේ තමා ළඟ සිටින අලියා මීගොඩ ඕවිටිගම දිසානායක බණ්ඩාගේ චන්ද්‍රරත්න යටවරගෙන් මිලට ගත් බවයි.

අංක 334 නම් බලපත්‍රය ඔහුගේ නමින් 2012/03/27 වැනි දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයි ද, එම අලියා ඔහුගෙන් මිලට ගැනීමෙන් පසු තම නමට පැවරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමට අනුමැතිය හිමි වී ඇතැයි ද මහේස්ත්‍රාත් කතානායකට යැවූ ලිපියේ සඳහන් විය.

ලියා පදිංචි නොකළ අලියකු තමා සන්තකයේ ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් හා චිත්ත පීඩාවක් ඇති වූ බවත් මහේස්ත්‍රාත්ගේ ලිපියේ දැක්වේ.