(අංජුල මහික වීරරත්න)

නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවාලීම සඳහා හා ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මා හේනවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 91.40ක (අක්කර 225 රූඩ් 3 පර්වස් 4.14) ඉඩම් ප්‍රමාණයක් අත්කර ගෙන ඇත.

එකී ඉඩම් වලින් ඉඩම් කොටස් 02ක් නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත හෙක්ටයාර් 19.25ක් (අක්කර 47 රූඩ් 2 පර්වස් 10.8) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය ස්ථාපිත කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත හෙක්ටයාර් 7.18 ක් (අක්කර 17 රූඩ් 2 පර්වස් 37.74) අදාළ තක්සේරු වටිනාකම අය කිරීමට යටත්ව අයිතිය පවරා දීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.