මහා ජීවිත සහ දේපොල හානියක් සිදු කරමින්, නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම, එරට ආර්ථිකයට ද මරු පහරක් එල්ල කළ බව නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා පවසයි. ඉකුත් බදාදා (26) හටගත් එම හදිසි ප්‍රචණ්ඩ ගංවතුර බිලිවුණු ගණන ඊයේ (27) වනවිට 469 දක්වා ඉහළ ගොස් තිබුණි. තවමත් දහසකට වැඩි පිරිසක් අතුරුදන් බව ද පැවැසෙයි.

ඉකුත් මාර්තු මාසයේ, බලේන්ද්‍ර ෂා නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ, රට දේශපාලනික වශයෙන් පමණක් නොව, ආර්ථිකමය වශයෙන් දුර්වල අවස්ථාවකය. ආර්ථික අර්බුදය හමුවේ, විදේශ ආධාර, විදේශගත ශ්‍රමිකයකන් එවන මුදල්, අසල්වැසි චීනය සහ ඉන්දියාව සමග සිදු කරන ආනයනවලින් පමණක් යැපෙන නේපාලනය, මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයන් පවා පෙන්වා දී තිබේ.

ඉකුත් බදාදා (26) හටගත් එම හදිසි ප්‍රචණ්ඩ ගංවතුර තත්ත්වය හේතුවෙන්, නේපාලයේ දිස්ත්‍රික්ක අටක නිවාස සහ ගොඩනැගිලිවලට අමතරව, පාලම් 80 ක් සහ මාර්ග රැසක් විනාශ වී ඇතැයි බලධාරීහු පවසයි. නේපාලය සහ චීනය අතර දිවෙන ප්‍රධාන මාර්ග ද සැඬ පහරට හසුවී විනාශ වී ඇති බැවින්, චීනය සමග වෙළෙඳ කටයුතු ද මුළුමනින්ම අඩපණ වී ඇත. 

ගංවතුරින් විනාශ වුණු දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් ද සියල්ල විනාශ වී ඇතැයි පැවැසෙයි. විදුලි බලසැපැයුම් යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.

බිහිසුණු ගංවතුර, නේපාලයට පෙර චීන පාලනය යටතේ පවතින ටිබෙටය කැලඹූවේය. චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ටිබෙටයේ සිදුවුණු ජීවිත හානි 10 ක් බවත්, 500 කට වැඩි පිරිසක් අතුරුදන් බවත්ය. ටිබෙටයේ ද මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පැවැසෙයි. ප්‍රචණ්ඩ ජල ගැලීමට නේපාල ටිබෙට් දේශසීමාවේ ප්‍රධාන පිවිසුම ද සම්පූර්ණයන්ම විනාශ වී ඇතැයි පැවැසෙයි.

මේ අතර, හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත් නේපාල වැසියන්ට ඩොලර් මිලියන 3.6ක ආධාර පිරිනැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන හරහා මේවා ලබා දෙන බව, එරට විදේශ අමාත්‍ය පෙනී වොං මාධ්‍ය හමුවේ පවසා ඇත.