(අංජුල මහික වීරරත්න)

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහා හැඳුනුම්පත් මුද්‍රණය කිරීම පිණිස අවශ්‍ය පෙර- මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන පහක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය ක්‍රියාත්මකට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ඒ පිළිබඳව වන ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අවලංගු කිරීමට 2024-05-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.

එමෙන්ම, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි, නව ප්‍රසම්පාදනයක් ක්‍රියාත්මක කර සුදුසු සැපයුම්කරුවෙකු තෝරාගනු ලබන තෙක් පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් පෙර සැපයුම්කරුගෙන් නැවත ඇණවුමක් වශයෙන් ලබා ගැනීම සඳහාත් එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, පෙර සැපයුම්කරු වෙතින් මිල දී ගත යුතු කාඩ්පත් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාල නිර්දේශ ලබා ගැනීමට හා සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන මිල යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එකී කමිටුවල නිර්දේශ මත පදනම්ව පෙර සැපයුම්කරු වන Just In Time Technologies (Pvt) Ltd. වෙතින් නැවත ඇනවුමක් වශයෙන් පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 2.3 ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.