(ඩයනා උදයංගනී සහ තරුෂි නිවර්ථනා)

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී අනිද්දා (11) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

හෙද සභාවට 2016 වසරෙන් පසු සාමාජිකයින් පත්කර නොමැති බවත්, වසර 5ක් තිස්සේ අක්‍රීයව පැවති හෙද සභාව සක්‍රීය කිරීම හෙටින් පසු සිදුවන බවත් හෙද සභා නිලවරණ කමිටු සභාපති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

1988 වසරේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කර ඇති ශ්‍රී ලංකා හෙද සභාව නියෝජනය කරන සාමාජිකයන් 19 දෙනාගෙන් ඡන්දයෙන් පත්කරගනු ලබන සාමාජිකයන් 11 දෙනකු තෝරාගැනීම මෙහිදී සිදුවන බව ඔහු කීවේය.

අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා හෙද සභාවේ හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇති රට පුරා රෝහල්වල සේවය කරන මාණ්ඩලික ශ්‍රේණියේ හා විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන්ට, ආයුර්වේද හා පෞද්ගලික රෝහල්වල හෙද හෙදි නිලධාරීන්ට තමන්ට අදාළ රෝහලේ හෝ හෙද විදුහලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිතා කළ හැකි බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

ඡන්දය භාවිතා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයත්, හෙද සභාවේ හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචි බවට තහවුරු කළ හැකි හැඳුනුම්පතක් හෝ ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද පිටපතක් සහ සක්‍රීය රාජකාරියේ යෙදෙන බවට රෝහල් බලධාරියකු විසින් සහතික කළ සේවා ස්ථාන සහතිකයක් යන ලේඛන රැගෙන ආ යුතු බවත්, රෝගී සත්කාර කටයුතුවලට බාධා නොවන පරිදි ඡන්දය භාවිතා කළ යුතු බවත් හෙතෙම කීවේය.