
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 06 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.
මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කොට ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික්‍රම මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.
කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්ය ප්රකාශක ඩී. කේ. පී. දසනායක, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික්‍රම මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කොට ඇතැයි පැවසීය.
එම අභියාචනය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද එම අභියාචනයේ අවසන් තීන්දුව ලැබෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ යොහාන් අබේවික්‍රම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීම පිලිගත් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 06 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd