(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සරසවි වරම් ලබා සිටින දරු දැරියන් 360 දෙනෙකුට තමන් අතින් අද(15) දිනයේ පිරිනැමීමට සූදානම් කර තිබූ අධ්‍යාපන ශිෂ්‍යත්‍ව සහ තිළිණ කවුරුන් හෝ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නියමයෙන් අත්හිටුවීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමා කිසිවිටෙකත් මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කරන්නේ නැතැයිද එම නිසා ඉතා දුරබැහැර සිට පවා මෙහි පැමිණි දරුවන්ට හිස් අතින් ආපසු යාමට සිදුවීම ගැන සිය කණගාටුව පිරිනමන බවද කීවේය.

එසේ වුවද මේ අධ්‍යාපන ශිෂ්‍යත්‍ව සහ තිළිණ ඒ අයුරින්ම මැතිවරණයෙන් පසුව දිනයෙක මේ දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී කීය.

පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද පෙරවරුවේ මෛත‍්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම මගින් මේ අධ්‍යාපන ශිෂ්‍යත්ව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් 2019 වසරේ විශ්ව විද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් අගැයීමට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.