(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මහා භාණ්ඩාගාරයේ ඇ‍මෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට බාරදී ඇත.

මේ පිළිබදව එම කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනිදා රැස්විය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.