ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. වසරක් තුළ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරු දෙක හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, ඉන් එක් අනතුරක් පසුගිය සතියේ සිදුවූයේ පුද්ගලයන් 69 දෙනකුට මරු කැඳවමින් සහ 200කට අධික පිරිසකට තුවාල සිදු කරමිනි.

මැඩ්රීඩ් නුවරදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් පුවෙන්ටේ පැවසුවේ, "ඛේදවාචකයෙන් පසු පළමු මිනිත්තු කිහිපය තුළම මම මගේ අනාගතය පිළිබඳ තීරණය ගත්තා. ස්පාඤ්ඤය වැනි රටක ප්‍රවාහන අමාත්‍යවරයකුට වසරකට අඩු කාලයක් තුළ මෙතරම් දරුණු අනතුරු දෙකකට මුහුණ දීමෙන් පසු ධුරයේ රැඳී සිටිය නොහැකියි. ඒ අනතුරු කුමන ස්වභාවයකින් යුක්ත වුවත් සහ ඒ සඳහා සෘජු වගකීමක් පැවතුණත් නැතත් එය පොදු පිළිවෙළයි" යනුවෙනි.

මැඩ්රීඩ් සහ ඇන්ඩලුසියා සම්බන්ධ කරන අධිවේගී දුම්රිය මාර්ගයේ පසුගිය දා දුම්රිය දෙකක් ගැටී අනතුරට පත්වූයේ සංඥා දෝෂයක් හේතුවෙන් බව විමර්ශනවලදී අනාවරණය වී අවසන්ය.

මෙම වසරේ ජනවාරියේ, ඇඩමුස් නගරයේදී අධිවේගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තවත් බරපතල දුම්රිය අනතුරක් සිදුවිය. එයින් පුද්ගලයන් 41 දෙනකුට වැඩි පිරිසක් මිය ගිය අතර, එය දශකයකට වැඩි කාලයක් තුළ ස්පාඤ්ඤයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර මෙය ලෙස සැලකෙයි.