ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය ගණන 70 තෙක් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය අනතුරින් තුවාල ලැබූ ගණන 100 කට වැඩිය. තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනකුගේතත්වය බරපතල යැයි ද පැවැසෙයි.

දුම්රිය පාලන පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් සහ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවුණු බව පැවැසෙයි. ඒ ගැන මේ වනවිටත් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව ස්පාඤ්ඤ රජය පවසා ඇත. 

අනතුර සිදුවූ ස්ථානයට ගිය ස්පාඤ්ඤ අගමැති පේඩ්‍රෝ සැන්චේස් ප්‍රකාශ කළේ, දුම්රිය අනතුර මුළු රටම කම්පා කිරීමට සමත් වී ඇති බවය. මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සොව පළ කළේය.

ඊයේ (28) දිනයේ එකිනෙක හැපී අනතුරට ලක් වූයේ රෙන්ෆේ සහ ඉර්යෝ නමැති මගී දුම්රිය දෙකය. අනතුර සිදුවෙද්දී රෙන්ෆේ දුම්රියේ මගීන් 393 ක් සිටි අතර, ඉර්යෝ දුම්රියේ සිටි මගීන් ගණන 151 ක් බව පැවැසෙයි.