(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මැඩගස්කරයේ අත් අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් සිටින හරක් කටා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු යැයි කියන සළිඳු මල්ෂිත නැමැත්තා වහාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

මෙම පෙත්සම ඊයේ(15) සළකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් අනුව තම සේවාදායකයා මැඩගස්කරයේ සිට මුම්බායි හරහා මෙරටට රැගෙන ඇවිත් ඇති බවත් තම සේවා දායකයාට එරෙහිව වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.