(ඩයනා උදයංගනී)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,302කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,302කට අයත් 4,335 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් ඊයේ (8) සහ අද (9) දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණි.

මින් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඌව පළාතට වන අතර, එම පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 723කට අයත්, 2,093 දෙනකු සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 193කට අයත් 711 දෙනෙක් වශයෙන් එම පළාත තුළ පවුල් 916කට අයත් පුද්ගලයන් 2,093 දෙනකු පීඩාවට පත්ව සිටිති.