(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ  සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාට රුපියල් කෝටි පහක 5 ක වන්දියක් ඉල්ලා  එන්තරවාසියක් යවා ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල කළ චෝදනාව පදනම් විරහිත මෙන්ම තැති ගන්වනසුලු එකක් බවත් තමා එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්  සලේ මහතා එම එන්තරවාසියෙන්  දැනුම් දී ඇත.

මේජර් ජනරාල්වරයා මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මිය මාර්ගයෙනි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමා   මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාවද මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට  ලද මූල්‍ය ආධාර හෝ සහාය දුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ලද  ප්‍රතික්ෂේප කරන බව  සලේ මහතා එම එන්තරවාසියෙන්  ප්‍රකාශ කර ඇත.

පියතුමා සඳහන් කරන කාලයේදී තමා සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරතව බවද ඔහු දැනුම් දී ඇත.

මෙම වන්දි ගෙවීමට අපහසු වුව හොත් දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවද එන්තරවාසියේ  වැඩිදුරටත් සඳහන්වේ.