(කේ බුද්ධික කුමාරසිරි)

හෝමගම පිටිපන පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.

එම තාක්ෂණ පීඨයෙහි සිව්වන වසරේ සිසුන්ට මෙම දිනවල විභාග කටයුතු සිදුවන බවත් ඒ හේතුවෙන් එම සිසුන් නේවාසිකාගාරය තුල අධ්‍යනය කටයුතු සිදු කරමින් සිටියදී දෙවන සහ තෙවන වසරේ සිසුන් දින ගණනාවක සිට රතිඤ්ඤා දල්වමින් ඝෝෂාකාරී ලෙස ශබ්ද නගමින් හැසිරී ඇති බවද පොලිසිය පවසයි

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයීය ආපන ශාලාවේදී , අවසන් වසර සිසුන් සමගින් දෙවන හා තෙවන වසර සිසුන් අතර බහින් බස්වීමක් සිදු වී එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතියි සිදුකල මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙම ගැටුම් හේතුවෙන් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් විශ්ව විද්‍යාල තෙවන සහ සිව්වන වසර සදහා සතියක කාලයක් නිවාඩු ලබා දී ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි.