(ඩයනා උදයංගනී)

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත විය.

සිරිලාල් කොඩිකාර මහතා මියයන විට 97 වැනි වියෙහි පසුවිය.

පිටිහුම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොඩිකාර මහතා ප්‍රචීන භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති අයකු විය.

1948 වසරේ ආරම්භ වූ ‘සිංහල ජාතිය’ පුවත්පතෙන් පුවත්පත් කලාවට පිවිසි සිරිලාල් කොඩිකාර මහතා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

සිරිලාල් කොඩිකාර මහතා දවස පුවත්පතට ‘කොසොල් රජුගේ අලුත් සිහින’ නමින් රචනා කළ ලිපි මාලාව මෙන්ම ඇත්ත පුවත්පතට රචනා කළ  ‘රංචාගොඩ ළමයා’ ලිපි මාලාව ද පාඨකයන් අතර ඉතා ජනප්‍රිය විය.

ඔහු බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ ද රංචාගොඩ ළමයා නමිනි.

වාමාංශික දේශපාලනයේ නිරත වූ සිරිලාල් කොඩිකාර මහතා සිය මාධ්‍ය කලාව තුළ පීඩිත ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද හඬ නැගීය.

ගත් කතුවරයකු ද වූ කොඩිකාර මහතා ‘මගේ සාක්කිය‘, ‘කැලිස්ටාගේ සවාරිය‘, ‘ටයර් සෑය‘, ‘කනේරු මල්‘, ‘මා දුටු කෝසල සිහින‘, ‘දියවැලක් ඔස්සේ‘, ‘ලෙයින් ලියූ කවි‘, ‘නොරජුන්ගේ අන්තප්පුරය‘, ‘ගහෙන් වැටුණු ගැහැනිය‘, ‘නයිල් ගඟේ කෙස් ගස‘, ‘විශ්වය තුළ විශ්ව‘ ආදී කෘතීන් ද රචනා කළේය.

කවියෙකු ලෙසද නමක් දිනාගත් සිරිලාල් කොඩිකාර මහතා මෙරට ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ පසන් කොඩිකාර මහතාගේ පියාණන්ය.

සිරිලාල් කොඩිකාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.