(යොහාන් භාසුර)

බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් හෙවත් කිලෝවොට් පැයක් රාත්‍රී කාලයේදී රුපියල් 57.64 ක සහ නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විදුලි ඒකකයක් රුපියල් 56.55 කට මිලදීගන්නා බව මහජන උපයෝගිතා කොමිසම අද (24) නිලවශයෙන් නිවේදනය කළේය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා ‘පෝෂක අයක්‍රමය’ ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසම එසේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‍ෂ (අයක්‍රම) අසංක කඹුරුගමුව මහතා පැවසුවේ රාත්‍රී කාලය එසේත් නැත්නම් විදුලිය ඉල්ලුම ඉහළතම කාලය ලෙස දිනයේ පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය සළකන බවත් බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් දහවල් කාලයේ රුපියල් 27.50 කට මිලදී ගන්නා බවත්ය. ‘පෝෂක අයක්‍රමය’ පුනර්ජනනීය විදුලි බලාගාර, විදුලි නිෂ්පාදකයන් සහ බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර යන කොටස් තුනක් යටතේ වර්ග කර ඇති අතර ඒ අනුව විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල වෙනස් වන බව අසංක කඹුරුගමුව මහතා කීය.

පුනර්ජනනීය විදුලි බලාගාර කාණ්ඩය යටතේ කුඩා ජලවිදුලි බගාලාරයක විදුලි ඒකකයක් රුපියල් 34.87 කට, සුළං බලාගාරයක විදුලි ඒකකයක් රුපියල් 25.73 කට, ජෛව ස්කන්ධ ඩෙන්ඩ්‍රො ක්‍රමයට නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් රුපියල් 51.52 කට, ජෛව ස්කන්ධ කෘෂි හෝ කර්මාන්ත අපද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන විදුලිය ඒකකයකට රුපියල් 35.48 කට, නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විදුලි ඒකකයක් රුපියල් 56.55 කට, අපද්‍රව්‍ය තාපය මත පදනම්ව නිපදවන විදුලි ඒකකයක් රුපියල් 17.68 කට, භූමිය මත සවිකරන සූර්ය බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 20.72 කට සහ පාවෙන සූර්ය බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 27.50 කට මිලදී ගන්නා බව ද ඒ මහතා කීය.