(ගයාන් සූරිය ආරච්චි)

හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් සිර මැදිරියේ රැදවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකු සිර මැදිරියේ ඉබ්බා කපා අත්අඩංගුවෙන් පැනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එසේ පලා ගොස් ඇත්තේ තංගල්ල පල්ලි කුඩාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකි.

එම සැකකරු පෙරේදා (6) රාත්‍රියේ එසේ පලා ගොස් තිබූ අතර උප පොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රී කාර්යභාර නිලධාරී වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය කියයි.

පලා ගිය සැකකරු ඉකුත් 5 දා හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පොලිස් සිර මැදිරියේ රඳවා තිබූ බව පොලිසිය කියා සිටියේය.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. තංගල්ල සහකාර පොලිස් අධිකාරි I කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි