(සුජිත් හේවාජුලිගේ ) 

මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්වීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්ව විද්‍යාල නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

එම විශ්වවිද්‍යාල බොහොමයක් ස්වාධීන ස්වයං පාලන ආයතන පුණ්‍යායතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති බවත් එවැනි ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත නො කිරීමට කිසිසේත්ම හේතුවක් නැති බවත් ජනාධිපතිවරයා කීවේය.

සාම්ප්‍රදායික ආකල්ප එවැනි ආයතන පිහිටුවීමට බාධා කරන්නේ නම් එවැනි ආකල්පයන්ට දැඩි ලෙස අභියෝග කළ යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පරිබාහිරව උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිදු අර්ථයක් නොමැති බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේදී අද පස්වරුවේ පැවැති එහි උපාධි ප්‍රදානෝත්සවයේදීය.

මේ රටේ තරුණ තරුණියන්ට පවතින අවස්ථා සීමා කරන මෙවැනි යල්පැනගිය පදනමක් නොමැති කතාවලින් ඔබ්බට සිතිය යුතු බවද ඔහු පැවසුවේය.

රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල පිහිටුවීමට විරෝධය පළ කිරීම ඛේදවාචකයක් පමණක් නොව අපරාධයක් බවද ජනාධිපතිවරයා පැවසීය

ජනතාව එවැනි පටු ආකල්පවලින් කටයුතු කළහොත් ශිෂ්‍ය පරම්පරා තවත් ගණනාවකට දුක් විඳීමට සිදුවනු ඇති බවත් එය සිදුවීම සඳහා ඉඩ දීමට තමා සුදානම් නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.