(සුජිත් හේවාජුලිගේ )

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා  එම තනතුරෙන්  හෙට (30)  ඉවත් වනු ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන මුල් දිනයේදී ( ලබන 4 වැනිදා) එහි පළමු කටයුත්ත ලෙස  නව නියෝජ්‍ය කතානායකවරයකු  තෝරා පත් කර ගැනීමට නියමිතය.

නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නමද ආණ්ඩු පක්ෂය විසින් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නමද යෝජනා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහානම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ  රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්  යැවීය.

එහෙත් ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම බාර නොගත්  අතරඑම තනතුරේ තවදුරටත් කටයුතු කරන ලෙස  ඉල්ලීමක් කළේය.

මේ අනුව සියඹලාපිටිය මහතා  මේ මාසයේදී  පමණක් කටයුතු කිරීමටතීරණය කර එම තනතුරේ කටයුතු කරගෙන ගියේය.