(අංජුල මහික වීරරත්න)

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කිරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/- ක් ලෙස මිල දී ගෙන තිබේ. ඉදිරි කන්නවලදී සම්බා සහ කිරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. 

එම නිර්දේශය මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට 130/- දක්වා සහ කිරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/-දක්වා ඉහළ නැංවීමටත් තීරණය කරනු ලැබ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කෙරිණි.