(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර සහ දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් අලුතින් හඳුන්වා දිය යුතු හෝ සංශෝධනය කළ යුතු සමුද්‍ර නීති හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මෑතකදී එම්.ටී නිව් ඩයමන්ඩ් සහ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරට පත්වීමත් සමඟ මෙරට සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති නීති ප්‍රමාණවත් නොවන බව පෙනීගොස් ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන හඳුනාගැනීමට මෙම කමිටුව පත්කෙරෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ජනාධිපති නීතීඥ චන්දන ජයසුන්දර මහතාගේ සභාපතීත්වය යටතේ අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉන්දියන් සාගරය මධ්‍යයේ මූලෝපායික පිහිටීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකූලවන පරිදි දේශීය නීති පැනවීමේදී සහ අන්තර්ජාතික ගිවිසුම් අපරානුමත කිරීමේදී ජාත්‍යන්තර අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන නෛතික යටිතල පහසුකම් සකස් කිරීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන ඇතැයි ද ඇමති රමේෂ් පතිරණ මහතා කීවේය.
ඊට අදාළව කරුණු අධ්‍යයනය කිරීම සඳහා මීට පෙර ද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සහ ජනාධිපති නීතීඥ පී.ඒ රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත්කර ඇති නමුත් එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුව නැතැයි ද ඇමතිවරයා පැවසීය.
එම කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව ද පදනම් කරගනිමින් අලුතින් හඳුන්වා දියයුතු හෝ සංශෝධනය කළ යුතු නීති හඳුනාගෙන නව වාර්තාවක් ඉදිරිපත් කිරීම අලුතින් පත්කරන කමිටුවට පැවරී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd