(බී .ජී. චතුරංග)

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළකුගේ ගෙවත්තේ වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ  ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක්  අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කැබිතිගොල්ලෑව දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවිය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බව පොලීසිය කියයි.

සැකකාර කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබළකු වන අතර මෙම ගිනි අවිය ඇතුළු උණ්ඩ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම යුද හමුදා සෙබළා නිවසෙන් පිටව ගොස් තිබූ බවද පොලීසිය සඳහන් කළේය.

එම නිවස ඉදිරිපිට ගෙවත්තේ සූක්ෂම අයුරින් වළදමා තිබූ ටී 56 මැගසින් තුනක්, ජෙලට්නයිට් කූරු අටක් , ටී 56 ජීව උණ්ඩ 184ක්, ඩෙටනේටර් 11, හිස් උණ්ඩ කොපු දෙකක්, අඩි තිස් දෙකක් පමණ දිග සේවා නූල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය මෙහිදී පැවසීය.