(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම හරි නැකතක් නොමැති වීමෙන් පමා වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සබරගමුව වෛද්‍ය පීඨයේ සමාන්තර සායනික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙලෙස තවමත් සිසු අයිතියට පවරා නැතැයි ද දිසානායක මහතා කීය.

සබරගමු, මොරටුව,වයඹ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ  අධ්‍යයන  ගැටලු  මතුවී තිබෙන බව කී දිසානායක මහතා ඒ හේතුවෙන් සිසුන් බරපතල පීඩාවන්ට ලක්ව ඇතැයි කීය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කටයුතු  2019 වසරේදී ආරම්භ වී තිබෙන අතර පසුගිය ගිය වසර හතර ඇතුළත නියමිත පරිදි පීඨ සංකීර්ණයක් නොමැති වීම, මානව හා භෞතික සම්පත් හිඟය හේතුවෙන් ඔවුනට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙන බව දිසානායක මහතා සඳහන් කළේය.මෙම ආයතනය වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තරම් සුදුසු මට්ටමක් නැති බවට වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය නිර්දේශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.