පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෞදි අරාබිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අලූතින් හඳුන්වාදී දෙන ලද විද්‍යූත් ඊ වීසා ක‍්‍රමය පිළිබඳව සියලූම විදේශිකයින් දැනුවත් වියයුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෞදි අරාබියා කළමනාකාර ශිරාන් ඒ. පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

මෙතෙක් කලක් සෞදි අරාබියේ සිට නිවාඩු ලබාගැනීම පිණිස මව් රටට යාමේදී සෞදි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් වීසා පිටපත අත්හිටුවා ඒ වෙනුවට (ඉලෙක්ට්‍රොනික් වීසා) ක‍්‍රමයක් හඳුන්වා දී ඇති අතර ඒ පිළිබඳව කිසිදු සටහනක් තම ගමන් බලපත‍්‍රයේ සටහන් නොවන බැවින් ඊ වීසා පිටපතක් තම ආයතනයෙන් ලබාගෙන තමා සන්තකයේ තබාගත යුතු බවද අවධාරණය කරයි. ඊ වීසා ලබාගැනීම සඳහා https://www.esevve.com.sq/vvswes  සෞදි රජයේ වෙබ් අඩවියට පිවිසිය යුතුය.

විශේෂයෙන්ම සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව හරහා දකුණු ඉන්දියාව තෙක් ශ්‍රී ලන්කන් ගුවන් යානා මගින් පියාසර කරන සියළුම මගින් ඊ වීසා  ක‍්‍රමය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රියාද්, දමාම් සහ ජෙඩා පිහිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පර්යන්තයේ විශේෂ නිලධාරීන් පත්කර ඇති බවද ඒ මහතා පවසයි.

ඊ විසා  ක‍්‍රමය පිළිබඳව මගීන් දැනුවත් කිරීම පිනිස දැනටමත් සෞදි අරාබියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අනුබද්ධිත සියලූම නියෝජිත ආයතන වෙත ද උපදෙස් දී ඇති බවද පවසයි.

මෙම ඊ වීසා ඊ වීසා පිටපතක් තම සන්තකයේ තබා ගැනීමෙන් අනෙකුත් ගුවන් තොටුපළවල් හරහා මවුබිමට ගමන් කිරීම හෝ පැමිණීමේදී අදාල ගුවන්තොටුපලවල නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමද වැළැක්වීම මෙන්ම ගුවන් මගියාගේ පහසුවද මෙමගින් ඇති වන බවද කියවේ.

ඉහත සඳහන් කරුණු පිළිපදින ලෙස සියලූම ශ්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෞදි අරාබියානු කළමනාකාර ශිරාන් පෙරේරා මහතා පවසයි.