යේමනයේ හූති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, සෞදි අරාබියේ බටහිර කලාපයේ හටගෙන ඇති හදිසි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්, එහි වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන් දැඩි අවධානයෙන් මෙන්ම ආරක්ෂාවෙන් පසුවන්නැයි ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, ජංගම දුරකථන හරහා ලැබෙන ජාතික අනතුරු ඇඟවීමේ පද්ධතියේ පණිවිඩවලට දැඩි අවධානය යොමු කරමින් වහාම ගෘහස්ථව ආරක්ෂිත ප්‍රදේශයකට වී සිටින ලෙසත්, කවුළු වලින් ඈත් වන ලෙසත් පුරවැසියන්ට දන්වා ඇත.

එළිමහනේ සිටිනවා නම්, වහා ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බවත් විවෘත එළිමහන් ප්‍රදේශින්, කවුළු, වීදුරු, බැල්කනි සහ වහලවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටි යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.

කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාකීර්ණ හා අනතුරුදායක ප්‍රදේශවලින් ඈත් වන ලෙසත්, කිසිදු ආකාරයක සිදුවීමක් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම හෝ පටිගත කිරීමෙන් සහ සමාජ මාධ්‍යවල බෙදා හැරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසය.

ඊට අමතරව, රිය පැදවීමේ යෙදී සිටින ශ්‍රී ලංකා පුරවැසියන් වහාම තම වාහන මඟ අයිනට ගෙන නතර කර පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත්ව සිටිය යුතු අතර, අනතුර පහව ගිය බවට නිල දැනුම්දීමක් ලැබෙන තෙක් මෙම ආරක්ෂක උපදෙස් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව ද පැවැසෙයි.

අනවශ්‍ය ලෙස කලබල වීමෙන් හෝ තහවුරු නොකළ තොරතුරු පැතිරවීමෙන් වැළකී නිල බලධාරීන්ගේ නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත්, සෞදි නීතිරීති දැඩි ලෙස පිළිපදින ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී. කිසියම් හදිසි අවස්ථාවකදී මක්කම සහ මදීනා ප්‍රදේශවල වෙසෙන අයට 911 අංකය ද, රාජධානියේ අනෙකුත් ප්‍රදේශවල අයට 998 අංකය ද ඇමතිය හැකිය.

මීට අමතරව, සාමාන්‍ය කොන්සල් හෝ කම්කරු කටයුතු සඳහා නොව, පවතින හදිසි අවස්ථා සඳහා පමණක් ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි අංකය වන 056 098 6671 ඔස්සේ සම්බන්ධ විය හැකිය.