(අංජුල මහික වීරරත්න)

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන "සුදු මැස්සා" (Whitefly) කෘමි උවදුර මර්දනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දක්වා සියලු දෙනා දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"සුදු මැස්සා" (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාලගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බවය.