(ගයාන් සූරියආරච්චි)

මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම හා තොරතුරු සටහන් පොතෙහි වෙනස්කර කූට ලේඛන සකස් කළ බව කියන කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි සැරයන්වරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය (III) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරුන් දෙදෙනකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සැරයන්වරුන් දෙදෙනා ඉකුත් අප්‍රේල් මස 7 වැනි දින මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇත.

එහිදී පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ  පැවැති සටහන වෙනස්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත.

එමෙන්ම එම වෙනස් කිරීම්වලට අනුව එම නිලධාරීන් දෙදෙනා විසින් කූට ලේඛන ද සකස් කර ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.