(නිමන්ති රණසිංහ)

සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණයට ත්‍රස්තවාදී  ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රකාශයක් කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (17)  නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.

සමගි ජන බලවේගය සංවිධානය කරනලද උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන්  කොළ කැබැල්ලක් ඉකුත් 15 වැනිදා කුරුඳුවත්ත පොලීසියට ලබා දී ඇති මෙම සැකකරු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.

පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා තම කොට්ඨාශය එම පැමිණිල්ල බාර ගත් බවත් ඊයේ (16)  අදාල උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

පදනමකින් තොරව ප්‍රකාශ නිකුත් කරමින් සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන  සිදුකළ යුතු බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීය .

ඒ අනුව සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කරමින් ලබන 24 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණි .