( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල්  තිස් කෝටි හැට ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කල බවට තමන්ට එරෙහිව  නීතිපතිවරයා  මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධි චෝදනා නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කළ  ඉල්ලීමක් අභියාචනාධිකරණය  අද  (18)  ප්‍රතික්ෂේප කළේය.
 
කෙසේ වුවද සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් ගොනුකර තිබූ මෙම ඉල්ලීම ඇතුලත්  පෙත්සම සලකා බැලීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිට නියෝග කරමින් නොතීසි. නිකුත් කළේය.
 
අදාළ නඩුවේ සාක්කි විභාගයේදී පරිගණක දෘඩ තැටි සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේදීම මහාධිකරණයේ දී එම ඉල්ලීම කරන ලෙස අභියාචනාධිකරණය සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
 
මෙම ප්‍රතිශෝධන පෙත්සම අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි.
 
පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ පරිගණක දෘඩ තැටි 10 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් ගේ බාරයට ගත් බවය.
 
එමතැටි දහයෙන් , හතක ඇතුලත් කරුණු පිලිබදව තමන් දැනුවත් වුවද , ඉතිරි තැටි තුනෙහි ඇතුලත් කරුණු සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශවය දැනුවත් කර නැති බව ද ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් ඉන් පරිගණක දෘඩාංග තැටි 03 ක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පරිගණක දෘඩ තැටි තුන තුළ අන්තර්ගත දත්ත මත සාක්ෂි මෙහෙයවීමක් සිදු වූවොත් ඉන් තම සේවාදායකයාට අගතියක් සිදුවුනු ඇති බව සඳහන් කළේය.

මෙම තත්ත්වය මත තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් අදාළ පරිගණක දෘඩ තැටි දහයම කොළඹ හෝ මොරටුව විශ්ව විද්‍යාල වල පරිගණක අංශ වෙත යොමු කර විශේෂඥ වාර්තාවක් ලබා ගත යුතු බවද  ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.

එසේම මෙම නඩුවේ සාක්කි විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත්  කරන්නැයි ද ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කියා සිටියේ විත්තිකාර පෙත්සම්කරු එරෙහි අධිචෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවේ මෙම පරිගණක දෘඩ තැටි අදාළ කර ගැනීමකින් තොරව බවය.

ඒ අනුව එම දෘඩ තැටි වල ඇතුලත් කරුණු මත සාක්කි විභාගය සිදු නොවන බවද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.මෙවැනි අදාළ නොවන ඉල්ලීමක් මත මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් නොකරන්නැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව  මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.පෙත්සම්කාර සජින් ද වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ  ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.